කටිං සෑර් (නූතන ජනකතා)
දාස මාමා කන බොන මිනිහෙකි. කතාවට එසේ කීව ද දාස
යනු කන පැත්තකට දමා නස්පුට් වෙන්න බොන මිනිහෙකි. බූලා ලෙස කා අතරත් ප්‍රකට මේ මාමා
උඩට අඳින්නේ ම නැති අතර සරං කෙටිය කැහැපොට ගසාගත් ගමන් ගම වටේ හා ටවුමේ හැම තැනම
කරක් ගසයි. බූලා කියන්නේ ගෝරිල්ලෙක්ගේ මෙන් පපුවේ බූල් තියන නිසාය. ඒවා අලු බූල්ය.
ටිකක් සුදු - තවත් ටිකක් කලු...
මේක ඒ හැටි හිනාවෙන්න කතාවක් නොවුණත්, මවාගත් කල
අපූරුවක් නැතුවා ම නොවේ. දාස මාමා නස්පුට් වෙන්න වෙල් ෆැන්ටා පානය කරන බව කලින්
කියවිණි. මේ ඒ කෙරුවාව නිසා වුණු අකරතැබ්බයකි.
අපේ ගමේ ෆැන්ටා කඩ හතරක් පහක් තිබුණි. ටිකක් දුරෙන්
දුර නිසා පළවෙනි ජනේලෙන් වීදුරුවක් ගසා ආයෙත් දෙවෙනි ජනේලෙන් තවත් වීදුරුවක් ගැසිය
හැකිය. මේ පුරුද්දට හැමදාමත් සූර් වෙන දාස මාමා එදත් සුරාමේරය දෂ්ට කර වැව මැද පාර
පැත්තට යමින්ය. පැත්තක වැව. පැත්තක කනත්ත. සිද්ධිය මහ දවල් නිසා කනත්තෙන් නම්
කාරියක් ම නැත.
“..සරා...ස්...
බ්ලග්..ඩස්..ඩග ඩගස්...”
බාප්පලා...
බරේක් පාර ගැසූ ගමන් ම පොලිස් ජීප්පෙකෙන් එළියට
පැන්නේ පොලිස් මාමලා දෙන්නෙකි. (කලින් කතාවේ දී පොලිස් මාමලාට ගමේ අය බාප්පලා කියන
බව පැහැදිලි කළා මතක ඇති.) ඒ පැන්න පාරට වෙන එකෙක් නම් වැවට - නැත්තං කනත්තට. දාස
මාමා වැනි වැනී බුහ් බුහ් ගගා ඉන්නවලු. මිනිහටත් තක්කු මුක්කු ඇති බැංකු හොරු
අල්ලන්න වගේ බාප්පල ටික පැන්න කස්තිරම දැකලා.
“තෝ කොහෙන්ද බිව්වෙ..?”
රාළාමි කෙනෙක් ගෝරනාඩු කළාට දාස මාමා “බුහ් බුහ්”
“නාකියා කොහෙන්ද උඹ බිව්වෙ?”
ඒ අනිත් රාළාමි.
“බුහ් බුහ්...”
මොකුම්ම කියන්නැති නිසා පොඩියට බැටන් පොල්ලෙන්
ඇල්ලුවලු.
“..ක්..ක්.. කටිං සෑර්...”
ඒ පාර නම් දුන්නලු දාස මාම ගොඩ ආවේ වැවේ එහා
ඉවුරෙංලු..
* * *
Comments
Post a Comment