ආගන්තුකයා හෙවත් කොලොන්නස්හි ඊඩිපස් ගැන වචනයක්


 කේ.ඩී. දර්ශන 

කැලණිය විශ්වවිද්‍යාලීය නාට්‍ය හා රංගකලා අවසන් වසර විද්‍යාර්ථීන්ගේ නිෂ්පාදනයක් ලෙස නරඹන්නට හැකි වූ ග්‍රීක නාට්‍යකරු සොෆොක්ලීස්ගේ කොලොන්නස්හි ඊඩිපස් නාට්‍යය ගැන කෙටි සටහනක් තබන්නට සිත්විය. (එය විභාග කාර්යයක් බැවින් නිෂ්පාදනය පිළිබඳ ඉතා කෙටි අදහසක් පමණක් ඉදිරිපත් කිරීමට සීමා වෙමි)


ග්‍රීක නාට්‍ය හා ඇකඩමික් ප්ලේයර්ස්වරු


මා දන්නා තරමින් ලංකාවේ වැඩිපුර ම ග්‍රීක නාට්‍ය නිෂ්පාදනය වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේය. බොහෝ දුරට වසරකට එක් ග්‍රීක නාට්‍යයක් හෝ නරඹන්නට කැලණියේ දී හැකියාවක් ලැබේ. එක් අතකින් ග්‍රීක නාට්‍ය තරම් දේශපාලනය කතා කරන සම්භාව්‍ය නාට්‍ය කලාවක් ලොව අන් කවර රටකවත් නැත. සොෆොක්ලීස්ඊස්ඛිලස්, යුරිපිඩීස් වැනි ශෝකෝත්පාදක රචකයන්ගේ නාට්‍යවල මෙන් ම ඇරිස්ටොෆනීස්ගේ සුඛෝත්පාදකවල ද ගැබ්ව ඇති දේශපාලනය විටෙක දියුණු යුගයේ නාට්‍යකරුවෙකුටවත් අභිභවනය කළ නොහැකිය. මා මේ ප්‍රවේශය ගත්තේ කැලණි සරසවි නාට්‍ය අංශය නාට්‍ය විෂයෙහි සුවිශේෂී දායකත්වයක් සපයන බව කියන්නටය. එයිනුත් සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය ප්‍රයුංජනය කිරීමෙහිලා කැලණියේ වෙසෙස් දායකත්වයක් ඇති බව මතු කරන්නටය. (ස්වතන්ත්‍ර නාට්‍යකරණය කෙරෙහි ඇති අල්ප උනන්දුව පිළිබඳ වෙන ම විවේචනයක් තිබුණ ද එය මේ මොහොතේ මතු කිරීම මාතෘකානුකූලව යුතු නොවේ.)


නාට්‍ය පිටපත හා පරිවර්තකයා.



සොෆොක්ලීස්ගේ ඊඩිපස් චරිතය ඇතුළත් නාට්‍යත්‍රය තීබ නාට්‍ය ත්‍රිකය යනුවෙන් හැඳින්වේ. එය එනමින් ම මහා කවි ආරියවංශ රණවීරයන් සිංහලයට නගා තිබේ. නාට්‍යකරුවා මේ තුන පිළිවෙළින් රචනා නොකළත්, ඒවා ත්‍රිකයෙහි ඇතුළත් වන්නේ පහත පිළිවෙලටය.

1.ඊඩිපස් රජ
2.කොලොන්නස්හි ඊඩිපස්
3.ඇන්ටිගනී

මෙයින් ඊඩිපස් හා ඇන්ටිගනී කථිකාචාර්ය ප්‍රියංකර රත්නායකයන් විසින් නිෂ්පාදනය කොට රඟ දක්වා තිබේ. දෙවන නාට්‍ය වන කොලොන්නස්හි ඊඩිපස් මා දන්නා තරමින් ලංකාවේ මෙතෙක් නිෂ්පාදනය වී තොමැති අතර මෙවර එය ඇකඩමික් ප්ලේයර්ස්වරුන් අතින් නිෂ්පාදනය වී ඇත. ඒ රණවීරයන්ගේ පරිවර්තිත පිටපත ඇසුරිනි.

ආරියවංශ රණවීර වනාහී මෙරට ජීවතුන් අතර සිටින මහා කවියන් කිහිප දෙනා අතරින් එක් අයෙකි. ඔහු පරිවර්තනය කළ නාට්‍ය සෑමෙකක් ම වාගේ වේදිකාවට ද නැගී ඇත. ඉනුත් බොහෝමයක් කැලණියේ දී ය. කැලණි විශ්වවිද්‍යාලීය නාට්‍ය වංශයෙන් අපට හමුවන නොනවතින තරුණ නාට්‍යකරුවා වන අඛිල සපුමල් විසින් ද රණවීරයන් වෙනුවෙන් නාට්‍ය උළෙලක් නම් කර ඇති බව ද මෙහි ලා සිහි කළ යුතුය.(‌පෙබ. 13, 14) රණවීර සාධකය ගැන යමක් මතක් කළ යුත්තේ එහෙයිනි.


ආගන්තුකයා හෙවත් කොලොන්නස්හි ඊඩිපස්

මා සිතනා අන්දමට මෙය අනෙක් නාට්‍ය දෙකට සාපේක්ෂව සාර්ථක ප්‍රේක්ෂාවක් මැවීමට තරමක් දුෂ්කර නාට්‍යයකි. ඊඩිපස් නාටකයේ කතාව විසින් ම ගෙන එන අපූර්ව ආතතියක් ඇත. ඇන්ටිගනිහි ද සේමය. ඒ දෙකම  උච්ච මට්ටමේ නාට්‍යමය සිදුවීම් බහුල, එසේ ම ප්‍රේක්ෂක සිත් නොසොල්වා තබා ගන්නා, තදාත්මීකරණය අතින් ඉහළ කතාවස්තූන් සහිත නාට්‍යයන්ය.

පියා මරා මව අඹුකමට ගත් කිළුටා ලෙස අපවාද නගා තීබයෙන් පිටමං කිරීමෙන් පසු ඊඩිපස් හා එක්ව ගමන් කරන්නට ඉදිරිපත් වන්නී ඇගේ වැඩිමහල් දියණිය ඇන්ටිගනීය. ගම් නියම්ගම් පසුකරමින් යදියෙකුගේ විලාසය ගත් ඊඩිපස් කොලාන්නස් වෙත පැමිණෙන අවස්ථාවෙන් නාට්‍යය පටන් ගැනේ. එය අවසන් වන්නේ එහි දී ම සිදුවන ඊඩිපස්ගේ මරණයෙනි. අතරතුර ඇතැන්සයේ රජු තීසියස්ගේ පැමිණීම, තීබයේ රජු ක්‍රයොන්ගේ පැමිණීම, ඊඩිපස්ගේ වැඩිමහළු පුතු පොලිනීසස්ගේ පැමිණීම ඇතුළු සිදුවීම් ගණනාවක් සිදුවේ. මේ එකක්වත් ඊඩිපස්හි හෝ ඇන්ටිගනීහි තරම් ප්‍රබල සිදුවීම් නොවන බව කිව යුතුය.

දැන් මා කතා කරන්නේ ආගන්තුකයා නමින් ඊයේ දින නැරඹූ නාට්‍යය පිළිබඳ ය.


මූලික වශයෙන් ම රංගනයේ දුර්වලතා තිබුණි. එහෙත් ඊඩිපස්, තීසියස්, ඇන්ටිගනී, පොලිනීසස්, ක්‍රයොන් යන චරිත නිරූපණය කළ නළු නිළියන් සාර්ථක රංගනයක් සඳහා උත්සහා දැරීය. එයිනුත් ඊඩිපස්ගේ හා තීසියස්ගේ රංගනයන් විශේෂ කොට සැලකිය හැකිය. ඇන්ටිගනී චරිතයට ද පැසසිය යුතුය. ගිලිහීම් මැද වුව ක්‍රයොන් හා පොලිනිසස් රංගය සඳහා ප්‍රාණයක් එක් කරන්නට සමත්විය. අත්වැල නොහොත් කෝරසය ග්‍රීක ට්‍රැජඩිවල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයකි. මෙහි දී එය දුර්වලව පෙනිණි. වෙන දා ප්‍රාණවත් අන්දමින් නාට්‍යයේ අර්ථය හා ප්‍රේක්ෂාව තිව්‍ර කළ කෝරසය(වැසියන් වන්නේ ද මෙම කෝරසයමයි) මෙදා දුර්වලව, ප්‍රාණ සුන්ව වේදිකාව පෙර හරඹ නොපෑහ. එසේ ම සමස්ත චරිත නාට්‍යයේ රිද්මය වෙත කැඳවා විමසූ කල, එහි රිද්මය රැක ගැනීමට ඔවුන් ගත් උත්සහාය මද බව හැඟේ. සංවාද භාෂාව කාව්‍යාත්මකය. එය අනන්‍ය රිද්මයක් ගනිමින් සමස්ත නාට්‍ය පුරාම රැඳෙන අතර නන්විධ චරිත ඒ රිද්මය රැකගනිමින්, එසේ වුවත් චරිතයන්ගේ අනන්‍යතා ගිලිහීමට නොදෙමින් බලපැවැත්විය යුතුය. ආගන්තුකයාහි ඇතැම් චරිත විසින් ඒ ගුණය බිඳ හෙළනු ලැබිණි. හඬ පෞරුෂය තිබුණ ද ක්‍රයොන් චරිතය ඒ අනතුරට මුහුණ පෑවේය. ඊඩිපස්ගේ පුතු පොලිනීසස් ලෙස රඟපෑ නළුවාට ද එම ගැටලුවට මුහුණ පෑමට සිදුවිය. අවස්ථා කිහිපයක දී ප්‍රේක්ෂකාවධානය ඇද බැඳ තබා ගන්නට අසමත් වුව ද අනෙක් සෑම විට ම ඔවුන් ඒ සඳහා ගත් උත්සහාය පැසසිය යුතුය.

රංගවින්‍යාසය කෙරෙහි ද ඇඳුම් නිර්මාණය කෙරෙහි ද වේදිකා පසුතල කෙරෙහි ද තවත් සැලකිලිමත් විය යුතු යැයි හැඟේ. කෝරසයේ ඇතැම් චරිත සඳහා භාවිත කොට තිබූ තද වර්ණ(රතු) වේදිකාවේ ගැඹුර මැකීමේ නරක උත්සහායක නිරත විය. එසේ ම කෝරසයෙන් මීට වඩා ජව සම්පන්න රංග වින්‍යාසයක් දක්නට ලැබුණි නම් වඩාත් සුදුසුය. නාට්‍යය සඳහා භාවිත කොට තිබූ පසුතලය ඇසට අවහිරයක් නොවීය. ඊඩිපස් පැමිණ ගිමන් හරින ඇතැන්ස කූඨය නම් ස්ථානයේ ස්වභාවය නිරූපණය කරන්නට සාර්ථක උත්සහායක් ගෙන තිබිණි. එය තවත් බලවත් වූවා නම් ප්‍රේක්ෂකයාගේ පරිකල්පනය සඳහා වඩාත් ආධාර සපයනු ඇත. කොලොන්නස්හි ඊඩිපස් නාට්‍යයේ පසුතල දක්වා තිබෙන්නේ මෙසේය.

මුළු නාට්‍යයේ ම කතා පුවත සිදු වනුයේ පිටිසර භූමි දර්ශනයක් පසුබිම් කරගෙනය. ගල් මුල් සහිත පටු මාවතක් පර්වත කූඨයන්ගෙන් සැදි වන කඩක් කරා විහිදේ. ඒ වනකඩ මැද ගලින් නෙලූ අසරුවෙකුගේ ප්‍රතිමාවකි. දකුණු පසින් ඇතැන්ස නගරයට පිවිසෙන මග පෙනෙන අතර වම් පසින් මුහුදු තීරයට යන මග වැටී ඇත...” (රණවීර පරිවර්තනය)

(ලිපිය දීර්ග වන නිසා සංගීතය හා රංගාලෝකය පිළිබඳ විශේෂ යමක් සඳහන් නොකරමි.)

අවසාන වශයෙන් මෙසේ ද සඳහන් කළ යුතුය. ක්‍රි.පූ. 401 දී පමණ රංගගතවුණු නාට්‍යයක් අප නැවතත් වේදිකාවට ගෙන එන්නේ ඇයි? ඒ සඳහා පිළිතුරු දෙකක් ලබා දිය හැකිය.

1 අධ්‍යයන, පර්යේෂණ කාර්යයක් සඳහා
2 එහි පවතින සමාජ-දේශපාලනික වලංගුභාවය

සැබෑවට ම ග්‍රීක ශෝකෝත්පාදක යනු සමාජ-දේශපාලනික වශයෙන් සර්වකාලීන වළංගුභාවයක් ඇති කලා නිර්මාණයන්ය. පශ්චාත් යුද කාලීන ශ්‍රී ලංකාව කියවා ගැනීමට ප්‍රියංකර රත්නායකයන්ගේ ඇන්ටිගනී නිෂ්පාදනය ඉවහල් වූවා සේ ම දේශපාලනයේ මේ මොහොත කියවා ගැනීම සඳහා අලෝක පුංජයක් ලබා ගැනීමට කොලොන්නස්හි ඊඩිපස් නාට්‍යයෙන් හැකිය. පක්ෂමාරු දේශපාලනය ගැන සමාජ අවබෝධයක් ලබා ගැනීම ගැන නොව මා මේ කියන්නේ, සමාජයේ පවතින දෘෂ්ටිවාදී දේශපාලනය වටහා ගැනීම සඳහා මාවතක් කලා නිර්මාණ මගින් පාදා ගත හැකි විය යුතුය. මා මේ නිෂ්පාදනයේ දුටු සුවිශේෂීම දුර්වලතාවය ලෙස දකින්නේ එම කරුණය (මේ පිළිබඳ විදර්ශන කන්නංගර හා ප්‍රණීත් චානක මුරමුදලි ද කතා කළ බව සිහි කළ යුතුය).

විභාග සඳහා කෙරුණු නිෂ්පාදනයක් නිසාවෙන් රළු විවේචන එල්ල කිරීම නුසුදුසු යැයි සිතමි. සෙමෙස්තර ක්‍රමය තුළ හිර වී, පරිකල්පනයේ නිදහසට විභාග සීමා වැටුණු පසුබිමක සිදු කළ මෙම නිර්මාණ කාර්යය වෙනුවෙන් එහි අදියුරු දෙපළ ඇතුළු සහෝදර විද්‍යාර්ථීන්ට සුභාශිංසන ද ක් කරමි.

-කේ.ඩී. දර්ශන-
( ඡායාරූප - හේමන්ත අරුණසිරි මහතාගේ මුහුණු පොත /  අන්තර්ජාලය)


Comments