කලාවෙන් සමාජය වෙනස් කළ හැකිද? හඳගම - විදර්ශන සංවාදයට එකතු කිරීමක්



කලාවෙන් සමාජය වෙනස් කරන්න පුළුවන් කියල මම නම් හිතන්නෙ නැහැ̓ යනුවෙන් අශෝක හඳගම කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විදර්ශන කන්නංගර කළ ප්‍රශ්න කිරීම හමුවේ එය සංවාදයක් දක්වා ඇවිළී තිබෙනවා. විදර්ශනගේ සටහනට හඳගම දුන් පිළිතුර ඇසුරෙන් බොහෝ අය අදහස් පළ කර තිබුණා. මේ සටහන ලියවෙන්නේත් ඒ පිළිබඳවයි.

විදර්ශන හඳගමගේ ප්‍රකාශය හඳුන්වා දී තිබුණේ කලා විරෝධී වචනයක් ̓  යනුවෙන්. විදර්ශනගේ මෙම කෙටි ලිපියේ කොටසක් පහතින් දක්වනවා.

එහිදී ඔහුගේ ප්‍රකාශය වන්නේ කලාවෙන් සමාජය වෙනස් කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ̓ යන්නයි. මින් පිළිබිඹු වන්නේ කලාව හා දේශපාලනය පිළිබද නවීකාරක සිතීමක් නොව හදගම තවමත් සිරවී සිටින එක්තරා මතවාදී අගතියක් යැයි මම යෝජනා කරමි. විවේචනාත්මක කලාව හා හෙජමොනික අරගලය̓ අතර වන කතිකාමය සුසම්බන්දයක් පිළිබද නව අවබෝධයකින් හදගමව වලක්වා ලන්නේ දේශපාලනය හරණය කළ ඌනිතවාදී මනෝවිශ්ලේෂණ පාඩම් වල පිළිසරණක් ඔහු තවමත් ලබන නිසාද ?..” (කන්නංගර, fb)

මීට පිළිතුරක් ලෙස හඳගම සටහනක් තබන අතර ඔහු මුලින් කළ ප්‍රකාශය තව දුරටත් අර්ථ දැක්වීම සිදු කරනවා. හඳගම සිය මුහුණු පොතේ තබා තිබූ පිළිතුරු සටහන් කිහිපයෙන් ඉහත කියමනට අදාළව උපුටා ගත් වාක්‍ය කිහිපයක් පහතින් දැක්වෙනවා.

වෙනස සිදු කරන්නේ දේශපාලනය මිස කලාව නොවෙයි. කලාවට පුද්ගලයෙකු වෙනස් කළ හැකියි. එහෙත් සමාජයක් වෙනස් කිරීම කියන්නේ දේශපාලිනක ක්‍රියාවලියක්...(හඳගම, fb)

ප්‍රමුඛ වන්නේ දේශපාලනයයි. මේ යථාර්ථය වටහා නොගෙන කලාව තමයි එය කියා සිතමින් අපට කළ හැක්කේ ස්වයං වින්දනයේ යෙදීම විතරයි...(හඳගම, fb)

කලාවට යථාර්ථය ඥානනය කළ හැකියි. එය දේශපාලනිකයි තමයි. එහෙත් යථාර්ථය වෙනස් කිරීම දේශපාලනික ක්‍රියාවලියක්...(හඳගම, fb)

මෙම ප්‍රවේශය ඔස්සේ කලාවේ කාර්යභාරය පිළිබඳ සංවාදයට තවත් දෑ එක් කළ හැකියි. මෙතැන් සිට ඒ සඳහා පිවිසෙමු.

***

කලාවෙන් සමාජය වෙනස් කළ කොහැකිය යන අදහස මීට පෙර මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් ද මතු කළා. මහාචාර්ය ගම්ලත් හා මහාචාර්ය පියසීලි විජේගුනසිංහ අතර ඇවිළුණු මෙම සංවාදය සෑහෙන තරම් දුර දිග ගිය එකක්. අප ඒ සංවාදය නැවත සිහිකැඳවිය යුතුයි.

ගම්ලත් පවසන්නේ කලාව යනු යථාර්ථය ජය ගැනීමේ භාවිතාවක් නොවේකියායි. ඔහු ලියොන් ට්‍රොට්ස්කි අනුයමින් මෙම මතය ඉදිරිපත් කොට තහවුරු කරනවා. කලාව යථාර්ථය ඥානනය කිරීමේ භාවිතාවක්ලෙස ඉහළින් ම දැක්වීමටත් එහිදී ගම්ලත් පියවර ගන්නව. ඔහු  ලියූ සාහිත්‍ය විචාර හා මාක්ස්වාදී විකටරූප කෘතියේ මේ පිළිබඳ තර්ක කෙරෙනවා. ගම්ලත් කලාව යනු යථාර්ථය ඥානනය කිරීමේ භාවිතාවක් මිස ජය ගැනීමේ භාවිතාවක් නොවේයනුවෙන් ඉතා පැහැදිලි ලෙස කළ ප්‍රකාශයක් පහතින් උපුටා දැක්වෙනවා. (කැලුම් නවරත්න හා ආශිකා බ්‍රාහ්මණ මහාචාර්ය ගම්ලත් සමග ජනරළ පුවත්පතට කළ සංවාදයක්.)

කලාව යථාර්ථය ජයගැනීමේ භාවිතාවක් නෙවෙයි ද?” යනුවෙන් අසන ප්‍රශ්නයටයි ඔහු මෙම පිළිතුර ලබා දෙන්නේ.

නිශ්චිතවම නැහැ. කලාව යථාර්ථය ජය ගැනීමේ භාවිතයක් නම් විප්ලවවාදී භාවිතය මොකක්ද?... කලාව යථාර්ථය ජය ගැනීමේ භාවිතාවක් ලෙස කිව්වොත් අපි කොහොමද සාහිත්‍ය විචාරය කරන්නෙ. සාහිත්‍ය විචාරයේ දී අපිට කියන්න වෙනවා මේ නවකතාවෙන් මෙතෙක් දුරට යථාර්ථය ජය අරගෙන තියනවා. මේ ප්‍රමාණයෙන් ජය අරගෙන නැහැ...

...යථාර්ථය ඥානනය කිරීමේ භාවිතයක් තමයි කලාව. දැන් එංගල්ස් කියල තියනවනෙ සියලු සංඛ්‍යාන විද්‍යාඥයන්ගේ, ආර්ථික විද්‍යාඥයන්ගේ, ඉතිහාසඥයන්ගේ ගවේෂණවලට වඩා මම මේ යුගයේ සාහිත්‍යයෙන් මගේ සමාජ දැනුම පෝෂණය කර ගත්තා කියලා. ඒකෙ තේරුම යථාර්ථය ඥානනය කර ගත්තා කියන එකනෙ...

...ඒ වගේම ලෙනින්ගේ ප්‍රසිද්ධම ප්‍රකාශය ගත්තොත්, ‘ටෝල්ස්ටෝයි රුසියානු විප්ලවයේ කැඩපත̓. කැඩපතකින් කරන්නෙ යථාර්ථය පිළිබිඹු කරනවා මිසක් යථාර්ථය බිඳින්නෑනෙ... (janarala.wordpress.com)

ගම්ලත්ගේ මේ අදහස කලාව දේශපාලනික අතකොළු ලෙස භාවිත කිරීමේ අවසරයෙන් පවා නිදහස් කෙරෙනවා. ඒ සඳහා අගුලක් ලෙස භාවිත කෙරෙනවා. කලාවේ හුදු ප්‍රචාරකවාදය සහ උපයෝගීතාමය ස්වභාවය ප්‍රතික්ෂේප කරන්නත් මෙය උපකාරී වනවා. කලාව කලාව සඳහාමය̓ යන සටන් පාඨයේ ප්‍රතිරාවයක් නොවුණත් කලාවෙන් දේශපාලන වෙනසක් කළ කොහැකියි යන මේ ස්ථාවරය කලාවේ ආරක්ෂාව සඳහා පවුරක් ලෙස නැගී සිටිනවා.

මේ කරුණ වඩාත් හොඳින් පැහැදිලි කර ගත හැකියි කලා කෘතියක් විනිශ්චය කිරීම පිළිබඳ ට්‍රොට්ස්කිගේ ම කියුමෙන්.

කලා කෘතියක් පළමු කොට එහි නීතිවලින් විනිශ්චය කළ යුතුය. එනම්, කලාවේ නීතිවලින් විනිශ්චය කළ යුතුය.” (ගම්ලත්, 2008: 153)

කලාව පළමුව එහි ම නීතිවලින් විනිශ්චය කළ යුතුයි යන්න කවියක උපමා රූපක තුළ ම කිමිදිය යුතුයි යන්න අදහස් වන්නේ නෑ. විදර්ශන කන්නංගර හඳගමගේ සටහන භාර ගෙන තිබූ ආකාරයත් මුහුණු පොතේ තවත් අය එය භාර ගෙන තිබූ ආකාරයත් බැලූ විට ට්‍රොට්ස්කිගේ මේ කියුම කෙසේ භාර ගනීවිදැයි සැක නිසා එය සඳහන් කළ යුතුයි. (අරකට උත්තර බඳින්න හඳගම හිටියට, ට්‍රොට්ස්කියි ගම්ලතුයි දෙන්නම නෑනෙ) ගම්ලත්ගේ කලා විචාර දෙස බැලීමේ දී ඉහත කියුමේ වපසරිය තේරුම් ගැනීම අපහසු නැහැ.

දැන් අපි ගම්ලත්ගේ අදහසේ ප්‍රතිවාදී අදහස ඉදිරිපත් කළ විජේගුනසිංහ දෙස හැරෙමු. ඇය සෘජුව ම කියා සිටින්නේ කලාව යථාර්ථය ජය ගැනීමේ භාවිතයකියි යන්නයි. විදර්ශන පශ්චාත් මාක්ස්වාදී අර්ථයෙන් කලාවේ කාර්යභාරය පිළිබඳ ගෙන එන අදහසත් මීට තරමක් සමාන බවයි මගේ හැඟීම. අපි එය දෙවනුව තබා විජේගුනසිංහගේ අදහස සලකා බලමු. ඇය මෙම අදහස පළ කරන්නෙ මාක්ස්වාදී කලා විචාරයේ මූලධර්ම නම් කෘතියේයි.

“...සාහිත්‍ය විචාරයෙහි දී කලාව යථාර්ථය ජය ගැනීමේ භාවිතයකැයි යන ප්‍රවාදය ආරක්ෂා කිරීම යනු, විඥානවාදී විධි ක්‍රමයට පටහැනිව අපෝහක භෞතිකවාදී විධි ක්‍රමය ආරක්ෂා කිරීමක්.” (විජේගුනසිංහ, 1995: 318)

ගම්ලත් ඉදිරිපත් කරන කලාව යථාර්ථය ජය ගැනීමේ භාවිතයක් නොවේ̓ යන්න නිර්මාක්ස්වාදී සංකල්පයක් බවයි විජේගුනසිංහගේ අදහස. එම දැඩි අදහස එසේ තිබිය දී කතුවරිය කෘතියේ තවත් තැනක කරන ඳහනකින් ඇගේ ම ප්‍රකාශය තරමක විරුද්ධාභාසයක් මවනවා. එය විසින් ගම්ලත්ගේ සහ හඳගමගේ ප්‍රකාශවලට වළංගුතාවයක් ලැබෙනවා. එම විරුද්ධාභාස ගෙන එන උපුටනය පහතින් දැක්වෙනවා.

“...මේ සියල්ලෙන් ගම්‍ය වන්නේ කුමක්ද? එළඹෙන සමාජවාදී විප්ලවය සඳහා අවශ්‍ය වන, නැන-ගුනෙන් හා බලපරාක්‍රමයෙන් ආඪ්‍ය මිනිසුන් සම්පාදනය කිරීමෙහි ලා, කලාවට කල හැකි වන ප්‍රතිපදානය යි. එහෙත් විප්ලවවාදී පක්ෂයේ සවිඥාන නායක කාර්යභාරය කලාවෙන් විස්ථාපනය කල හැකි ය වැනි අභූතයක් වත් එයින් කිසිසේත් ම ගම්‍ය වන්නේ නැහැ. ලෙනින්, එසේ ම ට්‍රොට්ස්කි - ලියෝ ටෝල්ස්ටෝයිගේ කෘති අගය කලේ විප්ලවය වෙනුවෙන් එම කෘතීන්ට කල හැකි වූ සාපේක්ෂ ප්‍රතිපදානය සැලකිල්ලට ගනිමිනුයි.

නිදර්ශනයකින් පැහැදිලි කලොත් - සාහිත්‍යය ඇතුලු කලාවන්, සමාජ විප්ලවයේ බලවේග නමැති මහා සමුදුර පෝෂණය කරනුව ගලා බස්නා නදී ප්‍රවාහයක් බඳුයි.” (විජේගුනසිංහ, 1995: 323)

මේ කියුම් හා ගම්ලත් කියූ කියුම් අතර පරස්පරයක් නොපෙනේ. කලාව මගින් යථාර්ථය ඥානනය කරනු විනා එය වෙනස් කිරීම නොඑසේ නම් ජය ගැනීම සිදු නොකරන බව මේ අවසන් උපුටන දෙකෙන් ද තර්ක කොට මතු කර ගත හැකියි. සමාජ විප්ලවය මහ සමුදුර නම්, කලාව වනාහී සමුදුර පුරවන ගංගායි. එසේ වුවත් සමුදුර යනු වෙනම ඒකකයක් බව පැහැදිලිව හඳුනා ගත හැකියි. එහි ඇති ගුණාංග ගංගාවට නැහැ. මේ අනුව බැලූ කල කලාවට තනිව සමාජ විප්ලව කළ නොහැකි බව හොඳින් ම පෙනී යනවා. කලාව එහි ගාමක බලවේගයක් වනවා මිස තීරක බලවේගය වන්නේ නැහැ. තීරක බලවේගය වන්නේ දේශපාලන පක්ෂ හෝ සමාජ සංවිධානයි.

කලා කෘතියකට ඕනෑම මොහොතක පුළුවන් සමාජය නොමග යවන්න. එය කතුවරයාගෙන් නිදහස් කොට පඨිතයක් ලෙස සලකා විචාරීමේ දී අවශ්‍ය නම් ප්‍රතිගාමී ස්ථානයක සිටුවා පස් ගැසිය හැකියි. මෙහෙව් ප්‍රවණතාවයක් ඇති කලාව සමාජ විප්ලව කරනවා නම්, අපට ඇන්ග්‍රි බර්ඩ් බලල නව යටත්විජිතවාදය පරාද කරන්නත් පුළුවන් වෙන්න ඕනෙ.  

පියසීලි විජේගුණසිංහගේ ම තවත් කෘතියක එන උපුටනයක් දක්වා විදර්ශන කන්නංගරගේ අදහස දෙසට යා හැකියි. පහත පළ වන්නේ සාහිත්‍ය භෞතිකවාදී අධ්‍යයනයක් ̓ කෘතියේ එන්නක්.

කලාකරුවා පන්ති සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වන නිසා ඔහු තුළ බොහෝ විට බල පවත්වන්නේ පාලක පන්තියේ දෘෂ්ටිවාදයයි. එනම් පාලක පන්තියේ ලෝක දෘෂ්ටියයි. මාක්ස් මෙසේ කීය: යුගයක රජයන අදහස් වනාහි අවශ්‍යයෙන් ම ඒ යුගයේ පාලක පන්තියේ අදහස් වේඑම නිසා උපදෙස් හැටියට කලාකරුවෙකු තම නිර්මාණයෙන් ධ්වනිත කරන්නේ ද පාලක පන්තියේ දෘෂ්ටිවාදයයි.” (විජේගුනසිංහ, 2005: 78)

මේ සඳහන සටහන ඉදිරියට ගෙන යාම සඳහා අතිශය වැදගත් දායකත්වයක් සපයනවා. මෙය මා උපුටා ගන්නේ මහාචාර්යවරියගේ ප්‍රකාශයේ පරස්පරතා පෙන්වීමට නොවේ. මෙහි එවැනි පරස්පරතාවයක් නැහැ. ඇය සඳහන් කරන්නේ කලාකරුවා තුළ නිරායාසයෙන් ම පවතින සමාජයේ අදහස් අඩංගු වන බවයි. ඒ අදහසට අනුව කලා කෘතිය තුළත් පවතින සමාජයේ අධිපති අදහස් නිසැකව ම අඩංගු විය යුතුයි. ලෙනින් ටොල්ස්ටෝයි අගය කළ ආකාරයෙන් මෙය වටහා ගත හැකියි. ලෙනින් ටොල්ස්ටෝයිව විප්ලවයේ කැඩපත ලෙස නම් කරන්නේ ඔහු විප්ලවය සඳහා කෘති ලියූ නිසා නෙවේ. එවකට පැවති රුසියානු සමාජය පිළිබිඹු කරමින් ලියූ නිසායි.

මේ නිසා ම කලා කෘතියක් සමාජය වෙනස් කරනවාය යන කියුමට වඩා, කලා කෘතියක් සමාජය හෙළිදරව් කරනවා යන කියුම යෝග්‍යයි. ගම්ලත්ගේ අර්ථයෙන් නම්, කලාව යථාර්ථය ජය ගන්නවා නොව ඥානනය කරනවා කියන එකයි.

හඳගමගේ ප්‍රතිචාරයට පිළිතුරක් සපයමින් විදර්ශන ගෙන එන අදහස ඔස්සේ අපි මීළඟ පියවර තබමු.

විසංයෝජන න්‍යායේ ආලෝකය ලද මාක්ස්වාදය එනම් පශ්චාත් මාක්ස්වාදය̓ වෙතට අප පියවර තබන විට කලාව හා දේශපාලනය අතර වන ඉහත කී ඊනියා බෙදීමේ පදනම බිදවැටෙනව. පශ්චාත් මාක්ස්වාදය විසින් අවධාරණය කරන්නේ දේශපාලනයේ ප්‍රමුඛත්වයයි. ඊට අනුව කතිකාමය නිමැවුමක සමාරම්භකත්වය කියන්නෙම දේශපාලන නිමේෂයක්. දේශපාලනයෙන් වියුක්ත වූ කලා සෞන්දර්ය මානයක් පශ්චාත් මාක්ස්වාදයට අනුව නැහැ. එක්කො කලා-සෞන්දර්ය මානයක් පවතින අධිපති හෙජමොනියේ ප්‍රකාශනයක් වෙනව, නැතිනම් විකල්ප ප්‍රති-හෙජමොනියක් ගොඩනැංවීම සමග සුසම්බන්ද කෙරෙනව. (කන්නංගර, fb)

මේ ආකාරයට කලාව වර්ග කිරීම නැවත වරක් කලාව ආකෘතිගත කිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.    එක්කො කලා-සෞන්දර්ය මානයක් පවතින අධිපති හෙජමොනියේ ප්‍රකාශනයක් වෙනව, නැතිනම් විකල්ප ප්‍රති-හෙජමොනියක් ගොඩනැංවීම සමග සුසම්බන්ද කෙරෙනව.මේ කියුම එක්තරා ආකාරයකින් ව්‍යාජ කලාව, ජාතිවාදී කලාව, ප්‍රතිගාමී කලාව යනුවෙන් අප හඳුන්වන කලා විධීන් එක් පැත්තකට වෙන් කරල පෙරටුගාමී කලාව යැයි නම් කෙරෙන කලාව අධිනිශ්චය කරන්න ලොකු දායකත්වයක් දෙනවා. එහෙත් එයට කලාව අකෘති ගත කිරීමක්ය යන චෝදනාවට ලක් වීමෙන් මිදෙන්න බැහැ.

අප මීට ඉහතින් දැක්වූ කලා කෘතියක් විනිශ්චය කිරීම පිළිබඳ ට්‍රොට්ස්කිගේ අදහස විදර්ශනගේ මේ අදහස හා සෘජුවම ගැටෙනවා. (කලා කෘතියක් පළමු කොට එහි නීතිවලින් විනිශ්චය කළ යුතුය. එනම්, කලාවේ නීතිවලින් විනිශ්චය කළ යුතුය”) ට්‍රොට්ස්කි දක්වන්නේ කලාවේ පූර්ණ නිදහස. විදර්ශන දක්වන්නේ සමාජ වෙනස වෙනුවෙන් කලාව ආකෘතිගත කිරීමේ අවශ්‍යතාවය.

අවතාරය̓ දෙවන කලාපයේ ෂන්තාල් මූෆ්ව ගෙන එමින් විදර්ශන මෙසේ ලියනවා.

ෂන්තාල් මූෆ්ට අනුව කලාව හා දේශපාලනය එකිනෙකට වෙනස් කෙරුණු ක්ෂේත්‍රයන් දෙකක් නොවේ. දේශපාලනයේ සෞන්දර්යාත්මක මානයක් ඇති අතර කලාවේ දේශපාලන මානයක් ඇත. (කන්නංගර, 2019 අප්‍රේල්: 74)

මේ කියුමට කිසිවෙකුගේ විරුද්ධ අදහසක් ඉදිරිපත් වන්නේ නැහැ. දේශපාලනය තේරුම් ගැනීමට කලාව තරම් හොඳ වෙනත් මාදිලියක් ද නැහැ. දිගට ම ඔහුව උපුටමු.

“...පොදු මහජන අවකාශයන් යනු විවේචක කලාවන්ගේ තෝතැන්නයි. ඊනියා එකඟතාවයන් හෝ සංහිඳියාව වෙනුවට එකිනෙකට පටහැනි ප්‍රතිවාදයන් අභිමුඛ වන පොදු මහජන තලය තුළ කලාව සිය විප්ලවීය මැදිහත්වීම සොයා ගනී. ප්‍රතිවාදී ප්‍රවේශය විසින් විවේචක කලාව දකිනු ලබන්නේ පවතින පශ්චාත් දේශපාලන පොළොවට විකල්පයක් යෝජනා කරන ව්‍යවහාරයක් ලෙයසි. කලාවේ එම විවේචනාත්මක අඩංගුව වන්නේ අධිපති සමාජ එකඟතාවය විසින්  අඳුරු කර දැමූ හා යටපත් කළ මානයන් අප වෙත අභිමුඛ කරලීමයි. (කන්නංගර, 2019 අප්‍රේල්: 75)

විවේචනාත්මක කලාව පවතින හෙජමොනිය ස්වභාවිකත්වය තුළ භාර නොගන්නා අතර එහි මර්ධිතයන් අනාවරණය කරනු ලබයි. (කන්නංගර, 2019 අප්‍රේල්: 75)

කලාව සෘජුව ම දේශපාලන සන්දර්භයක ස්ථාන ගත කරමින් ඉදිරිපත් වන මේ ප්‍රකාශවල අවදානම තමයි ඒ මගින් ඇතැම් කලා කෘති බැහැර කිරීමේ හැකියාව ලැබෙන එක. විදර්ශන විවේචනාත්මක කලාව̓ ලෙස කලාවට විශේෂණයක් එක් කරනවා. ඔව් එවැනි කෘතීන් තිබිය හැකියි. එහෙත් කෘතිය නමින් නම් කිරීම සාධාරණ කියා සිතෙනවා. වෙනුවට කෘතිය විචාරීමේ දී නම් එවැනි නම් කිරීම් කිරීමේ නිදහස විචාරකයාට තිබෙන බව පිළිගත යුතුයි. නැවත විදර්ශනව උපුටනවා.

මේ යුගයේ කලාව යළි නිර්වචනය කළ හැකි ප්‍රධානතම ආකාරය වන්නේ හෙජමොනික දේශපාලන අරගලයේ ස්වභාවය ග්‍රහණය කර ගැනීමට අදාළ කලා භාවිතයෙන් කෙතරම් දුරට සමත්වන්නේ ද යන්නයි. (කන්නංගර, 2019 අප්‍රේල්: 76)

මින් පරිබාහිර කෘති කුමන ආකාරයේ කලා කෘතිද? එනම්, හෙජමොනික දේශපාලන අරගලයේ ස්වභාවය ග්‍රහණය කර ගැනීමට අසමත් වන කෘතී? මේවා විචාරය නමැති කෙවිටෙන් ගසා කුණු කූඩයට දමනවාද?

මේ ක්‍රමවේදයේ අනිවාර්ය අගතියක් තිබෙනවා. හඳගමගේ කලා භාවිතාව අතිශය රැඩිකල්. ඔහුගේ කතා කෘති පවත්නා සමාජය සෙලවීමට සමත් වෙනවා. මේ නිසා ම විදර්ශන කියන ආකාරයේ විවේචනාත්මක ගුණයක් එහි අඩංගු වෙනවා. හැබැයි කෝල්මුර කවියක් හරි රබන්පදයක් හරි ජෝතිගෙ සින්දුවක් හරි මේ විග්‍රහයේ නාමයෙන් ඉවත දැමෙනවා.

කෝල්මුර හා රබන් පද ගැන කියද්දි ප්‍රබුද්ධ රසිකයන්ට හිනා යන්නත් පුළුවන්. බිව්ව් ම විතරක් ජෝතිගෙ සින්දුවක් කියල නටන අයට අනිත් හැම වෙලාවෙම අමරදේවගෙ සින්දු ඇහෙන නිසා කලාව ගැන මේ වගේ ප්‍රශ්න වැඩිය එන්නෙත් නැතුව ඇත. හැබැයි විදර්ශනගේ මේ කෝව කලාවේ නිදහස උදෙසා සිමා පනවන බව නම් අවසන් වශයෙන් ලියා තබන්න ඕනෙ. මෙයින් අදහස් වන්නේ නෑ කලාව ගැන ඔහුගේ සියලු ම අර්ථකථනවලට විරුද්ධ විය යුතුයි කියා.

අවසන් කරන්නට පෙර මෙසේ ලියා තැබිය හැකියි.

ට්‍රොට්ස්කි දක්වන්නේ කලාවේ පූර්ණ නිදහස. ගම්ලත් හා හඳගමත් දක්වන්නේ කලාවේ පූර්ණ නිදහස. විදර්ශන දක්වන්නේ සමාජ වෙනස වෙනුවෙන් කලාව ආකෘතිගත කිරීමේ අවශ්‍යතාවය.

KD Darshana 

Comments