සොම්බි හඳගම සහ කාන්ස් ඇතුගල
කේ. ඩී. දර්ශන
මේ නාමකරණ දෙක ම මගෙ නොවේ. පළමු වැන්න භූපති නලින්ගේය. දෙවැන්නට නම් නිශ්චිත අයිතිකාරයෙක් නැතියෙන් සමාජජාලාවලින් අහුලගත්තා යැයි කියමු.
මේ ලිපිය සිදුවීම් දෙකක් ගැන වන අතර දෙකෙහි අන්තර් සම්බන්ධයක් නැති බව කිව යුතුය. එකට ලියන්නේ මගේ කොරෝනා කුසීතකම නිසාය.
1 සොම්බි හඳගම
හඳගම සොම්බිකරණය වී ඇතැයි නාමකරණය කරන්නේ සිනමා විචාරකයෙකු වන භූපති නලින්ය. කොරෝනා අගුළුලෑම් හමුවේ "ඇල්කොහොල් නැති බියර්" නමින් හඳගම කළ චිත්රපටය අරභයා නැගුණු පුවත්පත් සංවාදයකදී භූපති මේ සොම්බි ලකුණ හඳගමට දී තිබුණි. කිසිවක් නිසා නොව, ඔහුගේ සිනමාවේ හැරවුම පිළිබඳ භූපතිගේ නිරීක්ෂණය නිසාය.
හඳගමගේ කලාව ගැන භූපතිගේ එම නිරීක්ෂණයට එකඟ වීමට තවම කාලය නොවන බව මගේ හැඟීමයි. කලාකරුවෙක් ලෙස ප්රකාශනයේ වූ මාක්ස්වාදී නැඹුරුව ඔහුගෙන් පළා ගියාය හෝ වෙළඳපොළ වෙතම ආකර්ෂණය වී ඇතැයි යන්න මම පිළිනොගනිමි. එසේ පළා ගිය ද නිර්මාණකරණයෙහිලා නිර්මාණකරුවාගේ අවංකකම වේ නම් හේ ගුණදාස අමරසේකර වුව කෘති ඇගයීම පසෙකලිය නොහැකිය. මහේෂ් හපුගොඩ කියා තිබූ පරිදි හඳගම මෙරට සිටින සංකීර්ණ ම කලාකරුවෙකියි යන්න මම පිළිගනිමි.
එහෙත් පුදගලයෙකු ලෙස හඳගම සොම්බිකරණය වී ඇති බව අදහමි. මිනිසුන් ලෙස අපි අති බහුතරය මේ සොම්බිකරණයට ගොදුරු වෙමින් සිටියි. මා ද සොම්බියෙකි. වසංගතය හමුවේ අප වඩ වඩාත් ආත්මාර්ථකාමීත්වයට ඇද දැමෙනු ඇත.
මේ සටහන කොරෝනා කාලේ සොම්බි වේශයෙන් ඇවිද යන හඳගම ගැනයි.
හඳගම, කලාකරුවන් සඳහා ලබාදුන්නා යැයි කියවෙන කෝවිඩ් එන්නත විශේෂ පෝලිමක ගොස් ලබාගෙන තිබිණි. තවත් අය ලබාගෙන තිබුණද උවිඳු කුරුකුලසුරියගේ හෙළිදරව්ව හමුවේ ඔහු විශේෂයෙන් ඊට පිළිතුරු සපයා තිබිණි. ඔහු කියා තිබුණේ "මරණ භය නිසා හෝ ප්රවේසම් වීම මගේ ජාතික වගකීමකි"යනුවෙනි. මහබැංකුවේ ඉහළම නිලයක් දරා, ඉන් ඉවත්ව ආර්ථික වශයෙන් ඉහළ මධ්යමපාංතික දිවියක් ගෙවන හඳගම සිය ජාතික වගකීම ඉටුකිරීමෙන් පසු 'රට විවෘත කරන්න' යැයි කියා මොර දෙමින් සිටියි. රට වසාගෙන සිටීමේ අර්බුදය ගැන ඔහුගේ විවේචනයට පූර්ණ විරෝධයක් ලෙස නොවේ මෙය.
සියල්ලට පෙර ආර්ථිකය යන මෙම හඳගමයානු තෝරාගැනීම හෙණ, මාඝාත හෝ දියකැට පහණ කරන කාලෙත් තිබුණේ නම් දැන් මෙවැනි සංකීර්ණ කලාකරුවෙක් නැත. "කිමෙද විප්ලවයකින් ඇති සරණය - නැතහොත් පොදුවේ බෙදා රමණය" හිසින් ඔහු සයිටම් පෞද්ගලික වෛද්ය විද්යාලයට පක්ෂව ලියන කල අප හඳගමට කීවෙ, "කිමෙද හඳගම මේ සරණය - සිකුරුයි වෙළඳපොළ සමග රමණය' කියාය. ඔහු රාගම උතුරු කොළඹ පෞද්ගලික වෛද්ය පීඨය වෙනුවෙන් ද මෙවැනි ලිපියක් ලීවා නම්, එය පෞද්ගලික වෛද්ය විශ්වවිද්යාලයක් ලෙස ස්ථාපිත වූවා නම් අද කැලණිය විශ්වවිද්යාලයට වෛද්ය පීඨයක් ද නැත.
හඳගම එන්නත ගැනීමේ දෝසයකටත් වඩා අප දකින්නේ ඔහු එය සාධාරණීකරණය ක්රන ව්යාකරණයේ දෝසයයි. නිවසින් වැඩිපුරම එළියට යන්නේ තමා නිසා, ජාතික වගකීමක් ලෙස එන්නත ගත්තා යැයි පැවසීම;
භීෂණ සමයේ ජීවිතය වෙනුවට මරණය ඉදිරියට පා නාට්ය කළ හඳගම,
තමාට ලැබුණු රජයේ මුදල් තෑගි යාපනය පුස්තකාලයට දෙනුයි රජයට සරදම් පෑ හඳගම,
කලාව වෙනුවෙන් ම මහබැංකු රස්සාවෙන් ඉවත් වූ හඳගම,
අක්ෂරයේ අර්ථය අක්ෂරයමයි යනුවෙන් නඩුකාරයන් ඉදිරියේ සීහනාද පෑ හඳගම,
උතුරේ දේශපාලකයන්ගේ තර්ජන ගණනකට නොගෙන ඉනිඅවන් රෑගත කළ හඳගම
පාවාදීමක් නොවේද?
තුන්වන කොරෝනා රැල්ලේ සංචරණ සීමා පැනවීමට පෙර දිනයේ මම බැලුම්මහර හන්දියේ මහ වැස්සේ කුඩයක් ඉහළාගෙන බසයක් එනතුරු සිටියෙමි. මා අසල සිටි මිනිසෙකු කුඩයක් හෝ යන්නට වහලයක් නැතිව තෙමෙමින් බසයක් එන්තෙක් සිටියේය. වෙනදා මෙවැන්නෙකු තෙමෙද්දී මගේ කුඩයේ ඉඩක් දෙන මට මෙවර ඉවත බලා සිටින්නට සිදුවිය. වසංගතය විසින් අපට දායාද කළ සොම්බි ආත්මවල සැටි එසේය. හඳගමට ද එයින් බේරී ලඹ දෙන්නට නොහැකි බව මගේ අදහසයි.
එහෙත්, "පියුමි හංසමාලි නිළියෙක් ද" කියල අහන හඳමගෙන් අපි ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙමු. ඔහු ෆේස්බුක් හි මෙසේ ලියා තිබුණි.
"එළුවාගේ අහවල් එක වැටෙනතුරු පස්සෙන් ගිය නරියා සේ නිකම්ම ලැබෙනතුරු බලා නොඉඳ ණය වී හෝ සියලු දෙනාටම හැකි ඉක්මනින් එන්නත ලබා දෙනු.."
මේ උණුසුම් පාඨය කලාකරුවෙකු වශයෙන් ජනාධිපතිවරයාට හෝ සෞඛ්ය ඇමතිට යැවීමට හඳගමට හැකි වුණාද? එන්නත ලබා ගත් අයට වඩා වැඩි ප්රමාණයක් එන්නත නොලැබුණු අය සිටියදී, රහස් පෝලිමක ගොස් එන්නත ලබාගත් කලාකරුවන්ට, "සියලු මිනිසුන්ට එන්නත දෙනු" යැයි ලිපියකින්වත් අඩුම ගණනේ රජය වෙත බලපෑම් කිරිීමට නොහැකි ද?
අනුර කුමාර දිසානායක කී, කෙහෙළියගේ හෝ බන්දුලගේ එන්නත් ලැයිස්තුවෙන් හඳගම ඇතුළු (මා මෙතනදී සෘජුවම අවධාරණය කරන්නේ අශෝක හඳගමවය) පිරිස එන්නත් ලබා නොගත්තේ නම් ජනතාව වෙනුවෙන් ඔවුන්ට මෙවැනි ඉල්ලීමක් කළ හැකිය.
සියල්ල කැටිකොට මා කියන්නේ මෙයයි. කලාවේදී හඳගමගේ සොම්බිභාවය නොවිමසන මා කලාකරුවෙකු ලෙස වන ඔහුගේ සොම්බිභාවය ගැන වද වෙමි.
_______________
2 කාන්ස් ඇතුගල
ආරියරත්න ඇතුගලගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන "සහෝ" චිත්රපටය ලෝකප්රසිද්ධ කාන්ස් සිනමා උළෙලට ඉදිරිපත් කොට ඇත. එය දෙවන වටය සඳහා තෝරා ගැනුණු බව සඳහන් ඊමේල් පණිවිඩයක් අධ්යක්ෂවරයා පළ කොට තිබූ අතර එය පදනම් කරගනිමින් විවේචනශීලී සංවාදයක් ද ඇරඹී තිබේ.
ඒ පිළිබඳ කෙටි අදහසක් මෙහි පළවනු ඇත.
ආරියරත්න ඇතුගල කැලණිය විශ්වවිද්යාලීය ජන සන්නිවේදන අංශයේ මහාචාර්යවරයෙකි. ඔහු ටෙලිනාට්ය අධ්යක්ෂවරයෙක් හා නාට්යකරුවෙක් ලෙස ද විවිධ භූමිකා නියෝජනය කර ඇත. එසේම ඔහු මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස ද රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස ද ක්රියා කළේය. පශ්චාත් නන්දිකඩාල් පසුබිමක රාජපක්ෂ දෘෂ්ටිවාදය ඔසවා තැබුණු, එහෙත් දැවැන්ත කලා කෘතියක් වූ 'මහ සමයම' ද ඔහුගේ නිර්මාණයකි.
දැන් කාන්ස් සිදුවීමට හැරිය හැකිය. ඇතුගල රාජපක්ෂ සමයේ 'මහසමයම' කළා කියා රාජපක්ෂාවේශයෙන් ම ඔහුගේ සෑම නිර්මාණයක් දෙස ම බැලීම කලාවට හොඳ දෙයක් නොවේ. 'සහෝ' චිත්රපටය ගැන කිසිවක් කීමට අපි කවුරුත් එය නරඹා නොමැතියෙන් අදාළ සිදුවීම ගැන පමණක් කතාකරමු.
පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආචාරයවරයෙකු වන ප්රියන්ත ෆොන්සේකා 'සහෝ කාන්ස් අවසන් වටයට' තේරුණ බව පළවූ පුවත්පත් කොටසක් ෆේස්බුක්හි පළ කොට එහි සත්යාසත්යතාව විමසා තිබිණි. එය ඔහු කර තිබුණේ උත්ප්රාසාත්මකව වුව ද එවැන්නක් විමස බැලීම කිසිදු වරදක් නොවේ. තෝරාගත් කිහිප දෙනෙකුට හැර අන් අයට කාන්ස් වැනි උළෙලවල්වලින් යමක් දිනාගත හැකිද යන එල්බගත් නිගමනය එහි වූවාම යැයි කිව නොහැකිය. එවැන්නක් සිනමා විචාරකයක් හා ගුරුවරුන් අතර නැතුවා ද නොවේ.
ඊට ම මහාචාර්ය ලියනගේ අමරකීර්ති මෙසේ ප්රතිචාර එක් කොට තිබුණි.
"එතුමාට ඔය විජාතික කෙහෙල්මල් මොකද? අවසාන වටේට ගියාට පස්සෙ අයින් කරගන්න ඇති."
මහාචාර්යවරයා මෙවැනි කමෙන්ටුවක් දැමේමේ අරමුණ කුමක් ද? ඇතුගල පිළිබඳ ඔහුගේ පූර්ව නිගමනයක් නිසා ද? නැත්නම් ඔහු පළකොට තිබූ බොරු හෙඩිම සහිත පුවත්පත් කොටස නිසාද?
ඇතුගල "සහෝ කාන්ස් සිනමා උළෙලේ අවසන් වටයට" යන හිසින් යුතු පුවත ෆේස්බුක්හි පළකොට තිබුණේ අදින් දින 5කට පෙර උදේ 9.30 ටය. ප්රියන්ත ෆොන්සේකා සත්යාසත්යතාව විමසා පළ කළ පෝස්ටුවට පසු එදිනම සවස 3.12 ට ඇතුගල එය "දෙවන වටය"යනුවෙන් සංස්කරණය කොට තිබිණි. ඒ අනුව ප්රියන්ත ෆොන්සේකාගේ පෝස්ටුව බොහොම සාධාරණ එකක් බව මගේ හැඟීමයි.
ඉන්පසු 'සහෝ' අධ්යක්ෂවරයා කාන්ස් වෙතින් ලද ඊමේල් පණිවුඩය අමුණා තිබුණි. එහි දෙවන වටයට තෝරාගත් බවට සඳහන් කර තිබුණි. එසේම උළෙල සඳහා තෝරානොගත් බවට සඳහන් වූ ඊමේල් පණිවුඩයක් ද ඔහු නැවත පළකොට තිබුණි.
දැන් ප්රශ්නය සහෝ අවසන් වටයට තේරුණා ද යන්න නොවේ. එය අවසන් වටය නොවන බව අධ්යක්ෂවරයා විසින් නිවැරදි කොට තිබේ. දෙවන වටයට තේරුණා යන්න අපබ්රංසයක් හෝ බොරුවක් බව දැන් ඇති ප්රශ්නයයි. දෙවන වටය යනු උළෙල සඳහා තෝරාගත් පසු එළැඹෙන්නක් නොවන බව නම් පැහැදිලිය.
දෙවන වටය පිළිබඳ ඊමේලය ව්යාජ එකක් බව පවසන්නන් හා මා පැවසුයේ එය එසේ නම් සාක්ෂි සහිතව සනාථ නොකරන්නේ ඇයි ද යනුවෙනුයි. කාන්ස් වෙත මෙරට තවත් සිනමාකරුවන් නිර්මාණ ඉදිරිපත් කොට ඇතියෙන් මෙය ඇතුගලගේ ව්යාජ රංගනයක් නම් ඔවුන්ට හෝ එහි සළු ගැලවිය හැකියි. තතු මෙසේ තිබියදී වීරවංස පන්නයේ කතා කියමින් සිටීමෙන් මීට සරු පිළිතුරක් ලැබෙන්නේ නැත.
අවසන් වශයෙන් කරුණු කීපයක් මතුකළ හැකිය.
සිනමා උළෙලකට තේරීම යනු හෝ එහි ඇගයුම් ලැබීම පොදු ප්රේක්ෂක රුචිය ගැන සහතිකයක් නොවුණත්, කර්මාන්තයක් ලෙසත් කලාවක් ලෙසත් ඉන් සිනමාවට ලැබෙන ප්රතිලාභ බොහෝය. සම්මන නොලැබුවත් එවැනි උළෙලකට ඉදිරිපත් වීම ගැන පුවත් සමාජගත කරන්නට හා එය ප්රචාරණය කරන්නට නිර්මාපකයන්ට නිදහස තිබිය යුතුය.
සම්මාන ලැබෙන සිනමාව වනාහී මේ යැයි අධිනිශ්චය කෙරෙමින්, සිනමා විචාරය එක් විකල්ප කථිකාවක බොහෝ වේලා නැංගුරම්ලවන කථිකාවන්හි හෙජමොනිය ගැනද අප සැලකිලිමත් විය යුතුය.
මේ සංවාදයට බරව යමක් කියන්නේ නම්, කෙනෙක් ලෝ ප්රකට සිනමා උළෙලවල් ගැන මුසාබස් කියා ප්රේක්ෂකයා අන්දන්නේ නම්, ඒ මුසාව විධිමත් සාක්ෂ්යවලින් අතුගා දැමිය යුතුය. ඒ හැර මඩ ප්රහාරවලින් වන්නේ තව තවත් බෙදුම් ඉරි වැඩි වීමයි.
අධ්යක්ෂවරයා වන තම ගුරුවරයා ආරක්ෂා කරමියි සිතා දමන සියලු ඊනියා සීනිබෝල පළකිරීම්වලින් ද වෙන්නේ එහි පැණිරසවලින් ඇතුගලගේ දත්වලට ම හානි සිදුවීමයි.
________________
කේ. ඩී. දර්ශන
Comments
Post a Comment