නෙරූදා යට කරන් ගලන කඳුළු ගඟ හෙවත් හඳගමගේ අධි යථාර්ථය

 


 කේ. ඩී. දර්ශන

හඳගමගෙ කලාත්මක ප්‍රකාශනය මුල ඉඳලම යථාර්ථවාදී සීමාවෙ නතර වෙන්නෑ. එය නිතරම යථාර්ථවාදී ප්‍රකාශනයේ සීමාවලින් ඔබ්බට ගිහින් අධියථාර්ථවත්ව දිගහැරෙනව. 

නෙරූදා ස්වදේශික කලාවන් දකින තැන්වල පටන් කෘතිය අවසන් වෙනකල් ම හඳගමගෙ අධියථාර්ථය අපිට මුණ ගැහෙනව. ඔහුගෙ බුරුම අඳුන් දිවි දෙන නොහොත් ජොසීගේ කඳුළු මා දුටු අපූරු රූපමය අර්ථකථනයක්. ඇය නෙරූදාගේ ආදරය පසුපස හඹා එන, ඔහුගේ ආදරය හැර අන් කිසිදු සාධකයක් නොතකන්නියක්. ඒ නිසාමයි බුරුමෙ ඉඳන් නොදන්වා හොර පාරෙන් ආව නෙරූදා හොයාගෙන ලංකාවටත් එන්නෙ. ජොසී නෙරූදගෙ කකුල් දෙක බදාගෙන අඬනව. ඒ මහා වේදනාව කඳුළෙන් කඳුළ බිමට දමමින් ප්‍රේක්ෂකයා ඉදිරියේ දිගහැරෙන්න ගන්නව. අවසානයේ සිටගෙන සිටින නෙරූදා වටා කඳුළු ගඟක් ඉතිරි කරල ඇය යන්න යනව. හදිසියේවත් මේ කඳුළු ගඟේ අනුසන්ධිය නොදන්නෙක්, නෙරූදා එහි සිටගෙන සිටිනවා දකිනව නම් ඒ නෙරූදාගේ මුත්‍රා ගඟක් කියල හිතෙන එක අරුමයක් නෙවේ..

ජොසීගේ කඳුළු ගඟ ගැන කියද්දි ඒක නෙරූදගෙ මුත්‍රා හා සසඳන කියමන ඇගේ ආදර වේදනාවට එල්ල කළ අප්‍රසන්න ප්‍රහාරයක් කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත් මේ මුත්‍රා කතාවට චිත්‍රපටයෙන් අනුසන්ධියක් හොයාගන්න පුළුවන්. නෙරූද දකිනව රාත්‍රී අඳුරෙ ඇය ඔහුගෙ මිදුලෙ චූ කරන දර්ශනයක්. තමාව සොයා ආ බුරුම පෙම්වතිය නිවසට නොගෙන ජනේලෙන් මේක බලන නෙරූදට වගේම, ප්‍රේක්ෂකයටත් මේ සිදුවීම් යා කරගන්න බැරි නෑ. නෙරූද විතරක් පාවිච්චි කරන වැසිකිළියට අවසානයේ රත්නයිය කක්ක කරද්දි වැටෙන බෙට්ටත් හඳගම අපිට පෙන්වනව. [මේව වෙනම කතා කරන්න ඕනෙ. අධියථාර්ථය ගැන කියද්දි මට කියන්න ඕනෙ වුණේ ජොසීගෙ කඳුළු ගඟ ගැන විතරයි]

චිත්‍රපටය ආරම්භයේ නෙරූදට හමුවෙන වෙස්මුහුණ අවසානයෙදිත් සම්මුඛ වෙනව. ඇත්ත ම කිව්වොත් ඒ සම්මුඛ වීම වෙන්නෙ නෙරූදට නෙවේ ප්‍රේක්ෂක අපිට. ඔහු දූෂණය කළ සක්කිලි තරුණිය දිනපතා ‘අරුණෝදයේ’ හිස තියං යන ගූ බාල්දිය දැන් නෙරූදා ඔළුවෙ තියං. ඉලපත අතේ. ඒ කාර්‍යයේම නියැලෙන සක්කිලි මැහැල්ලක් ගූ බාල්දිය ඔළුවෙ තියං යන නෙරූදා දිහා හැරිල බලනව. වෙස්මුහුණ පිටේ බැඳගත් කොල්ලත් හැරිල බලනව. නෙරූද දිගටම යනව…

දූෂණය වුණු තරුණිය (හැමදාම නෙරූදගෙ ගූ ඇද්ද) මුහුදට පැනල නානව. ඇය නාන්නෙ අශූචිවලින් පිරිසිදු වෙන්න නොවන බව පැහැදිලියි. අවසන් රූපරාමුව ප්‍රේක්ෂකයා ජීවත්වෙන කාලයේ මුහුද… වේගෙන් මෝටර් බෝට්ටුවක් යනව… දිය දෙබෑකරං මතුවෙන්නෙ එක්දහස් නවසිය ගණන්වල මුහුදෙ ගිලිමින් කුණු සෝදපු අර ස්ත්‍රිය. කෙල්ල …(යොහානිගෙ එන්න තියන ඇල්බම් එකත් #කෙල්ල)

________

මං හරි කැමතියි හඳගමගෙ යථාර්ථවාදී ප්‍රකාශනයෙන් එහාට යන ලක්ෂණයට. ඒක ඔහුගෙ අනන්‍යතාවයක්. හඳගම නිතර ම යථාර්ථය ගැන දරන්නෙ “ඒක ගොඩනගපු ප්‍රබන්ධයක්” කියන අදහස. ඉතින් නිර්මාණකරණයෙදි යථාර්ථවාදී රීතීන් ප්‍රමාණවත් නොවීම අරුමයක් නෙවේ.

‘චන්ද කින්නරී’ චිත්‍රපටයෙ මිය ගිය ධර්මෙ මිනී පෙට්ටියෙන් නැගිටල එනව… ‘අක්ෂරයෙ’ නඩුකාරය මැරෙන්නෙ හිටගෙන. අත් බැල්කනියෙ සිමෙන්ති වැටේ ගිලා බැහැල… ‘ඉනිඅවන්’ හි යුද්දෙන් පසු යාපනේ හමුදා පුළුටක්වත් නෑ…  ‘අසන්ධිමිත්තා’ සම්පුර්ණයෙන් ම යථාර්ථවාදී ප්‍රකාශනයට කට්ටකින් අනිනව. ‘තනිතටුව’ , ‘මේ මගේ සඳයි’ , ‘විදූ’ මේ හැම කෘතියකම යථාර්ථවාදී ප්‍රකාශනය පළුදු කරපු තැන් දකින්න පුළුවන්… ඒ පළුදු කිරිල්ල අස්සෙ හඳගම පවත්නා සමාජ යථාර්ථය පළුදු කරන එක නිසයි ඔහුගෙ ප්‍රකාශනයට මං අසීමිතව පෙම් බඳින්නෙ.

භූපති නලින්ගෙ උපුටා ගැනීමකින් මේ කෙටි සටහන අවසන් කරනව. මේ සටහනත් ඇල්බොරාදා ගැන විචාරයක් නෙවේ. හිතෙන හිතෙන වෙලාවට ලියන අවිධිමත් සටහන් කිහිපයක් පමණයි….! 

“හඳගමගේ සිනමාව චන්ද කින්නරී (1992) සමග ඇරඹෙන්නේ ම යථාර්ථවාදී සෞන්දර්ය සිනමා කථිකාවකින් නොව, යථාර්ථවාදය හා දෘෂ්ටිවාදය අතර පැල්මේ සිනමාවක් ලෙසිනි…” (භූපති නලින්, ‘හඳගම විශ්‍රාමික කැඩපත’, රාවය, 2020.05.24)

පින්තූරය උපුට ගත්තෙ රිතිකගෙ fb එකෙන්. ඇය අතුල පතිරණ මෙන්ෂන් කරල තිබුණ. (අයිතිය නිර්මාණකරුට හිමිවිය යුතුයි.)

 

 

Comments