ඒ බුද්ධ ධර්මයය. මේ බුද්ධ ආගමය. (ශක්තික සත්කුමාර දඩයම)

KD Darshana

ශක්තික සත්කුමාර

ඊනියා බෞද්ධ උසාවියෙන් නඩු අසා සිරගත කරන ලද කෙටිකතාකරුවෙකු ගැන තවමත් සමාජයේ හාවක් හූවක් නැත. සහරාන් මවුලවිගේ හදිසි පැමිණීමත් සමඟ ෂරියා නීතිය පිළිබඳ බියෙන් පසු වන සමාජය රැඩිකල් මුසල්මානුවන් පුනරුත්තාපනය කළ යුතු යැයි කියති. ඔව්! රැඩිකල් මුසල්මානුවන් පුනරුත්තාපනය කළ යුතුය. එසේ ම රැඩිකල් බෞද්ධයන් ද, රැඩිකල් ක්‍රිස්තියානීන් ද පුනරුත්තාපනය කළ යුතුය.

කෙටිකතාවක් ලියූ පමණින් මාස දෙකක පමණ කාලයක් තිස්සේ සිරගතකොට සිටින ශක්තික සත්කුමාර නම් සාහිත්‍යකරුවා පිළිබඳ සමාජය මීට වඩා කතා කළ යුතුව තිබිය දී පාස්කු ඉරිදා සිදුවීම විසින් බොහෝ දෑ යටපත් කෙරිණි. සහරාන්ගේ මැදිහත්වම විසින් ධනපති රාජ්‍යයේ මර්ධන යාන්ත්‍රණය නිවෙස් තුළටම කැඳවා ඇඳිවත පවා උනා දමන්නට මහජනයා විසින් ආයාචනා කෙරෙමින් පවතී. මේ තතු උඩය ආන්තික බෞද්ධ කණ්ඩායම් අස්ථානයේ චෝදනා නගා සිරගත කළ සත්කුමාර ගැන අපට කතා කරන්නට සිදුව ඇත්තේ.  
           


සත්කුමාර සිරගත කරන ලද්දේ “අර්ධ” නමින් ඔහු ලියූ කෙටිකතාවක් පදනම් කරගෙනය. ඒ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත (ICCPR) යටතේය. මෙම කෙටිකතාවෙන් තරුණ භික්ෂුවක් වැඩිහිටි භික්ෂුවකගේ (නායක හාමුදුරුවන්ගේ) ලිංගික පරිහරණයට ලක්වන සිදුවීමක ඉඟිකිරීමක් අන්තර්ගත වන අතර අතුරු කතාවක් වශයෙන් රාහුල කුමරුගේ පියා සිදුහත්ම දැයි සංශයක් මවන කතාවක් ගෙනහැරපායි. කෙටිකතාව කියවා බැලූ කල මෙයින් බුදු දහමට වන හානියක් ගැන සිතා ගත නොහැකිය. කුඩා භික්ෂූන්ට අතවර කළ වැඩිහිටි භික්ෂූන් මෙන් ම ස්ත්‍රී දූෂණ කළ භික්ෂූන් ද අද මතු නොව බුද්ධ කාලයේ පවා විසූ බව ජාතක කතා  නිදසුන් දෙයි. හදිසියේවත් මේ චීවරධාරීන්ට නලිනිකා ජාතකය කියවන්නට ලැබුණහොත් ජාතක පොත ද තහනම් කළ යුතු බව නොකියතැයි අපි කෙසේ විශ්වාස කරමුද? අනෙක් අතට මෙවැන්නක් ලියූ පමණනින් සාහිත්‍යකරුවෙකු සිර අඩස්සියේ දැමීම වනාහී රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරන්නකි. මේ මොහොත ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව අයිතිවාසිකම් ගැන  කතා කිරීම කල් තැබීමට අණ කරන මොහොතකි. ඒ වෙනුවට පූර්වයෙන් සඳහන් කළ පරිදිම රාජ්‍යයේ පීඩක යාන්ත්‍රණය නිදන කාමර තුළට වද්දා ගැනීමට ආශා උපදවන දින කිහිපයකි. එහෙයින් ශක්තිකගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියට වඩා බලසේනාවන්හි අධිකාරීත්වය ප්‍රබල වනු ඇත.

කෙසේ වෙතත් ආගමික අපහාස හා වෛරීය ප්‍රකාශන කළේ ය යන අභූත චෝදනාවල නාමයෙන් සාහිත්‍ය-කලාව දඬුක‍ඳේ ගැසීමට ආගමික සංස්ථාවලට ඉඩදිය යුතු නැත. ආගමික සංස්ථාපිතයත්-රාජ්‍යයත් එක්ව කරගෙන යන දඩයම අද ඊයේ නොව අනාදිමත් කාලයක සිට එන්නක් බැවින් ද, එවැන්නක් රාජ්‍යයේ පැවැත්මට අත්‍යවශ්‍ය බැවින් ද, නිතර සිදුවන්නක් බැවින් ද කරබා සිටිය යුතු ද? අනෙක් අතට මෙරට බෞද්ධාගමේ නාමයෙන් හා කිතුනු ආගමේ නාමයෙන් විවිධ නීති පනවා කලා කෘති තහනම් කිරීමේ ඉතිහාසයක් වූ බව අපි දනිමු. එහෙත් මේ අයුරින් කලාකරුවෙකු දඬුකඳේ ගැසීමේ පළමු අදියර මෙය වෙයි. මේ තත්වය පූර්වාදර්ශයක් වීම වනාහී ලබ්බට තැබූ අත පුහුලටත් තැබීමට අවසර දීමක් වන්නේය.




සත්කුමාර යනු බෞද්ධාගම විනාශ කිරීමට එවන ලද යමපල්ලෙකු නොවන බව කෙටිකතාව කියවා ගැනීමට නොහැකිව උරණ වූ උන්නාන්සේලා නොදන්නවා විය හැකිය. කෙටිකතාකරුවාත්, ප්‍රිය බිරිඳත් එක්ව බෞද්ධ පොත් කිහිපයක් ම(දිවිමගට පහන් වැටක්-2004, සදහම් මකරන්ද-2008, අමාදම්-2009) රචනා කර ඇති බව ද බුදු දහම ගැන කිසිවක් ලියා නැති මේ අය නොදන්නවා විය හැකිය.

ශක්තිකගේ “වෙඩි වැදුණු පන්හිඳ” කාව්‍ය සංග්‍රහයෙන් උපුටන කිහිපයක් දැක්වීම රිසිය. ඒ ශක්තික බෞද්ධාගම් නාශකයෙකු නොව, ඒ කෙරෙහි විවේචනාත්මක දෘෂ්ටියෙන් බැලූවෙක් බව සනාථ කිරීම සඳහාය.

ලැගුම්ගෙට ආ නාගයා
රජමහා විහාරයට
පිවිසි වියළි සුළඟ
මහළු බෝ ගසේ වැදී
නැගුවේ අඳෝනාවක්

බෝ මළුව පුරා
විසිරී ඇති වියළි කොළ
විහාරයේ පහන් වැට
නෙත් පියාගෙන අද

‍පොඩි හාමුදුරුවෝ ගැන සිතමින්
අපේ ලොකු හාමුදුරුවෝ
ලොවටම හොරෙන් පසුතැවිලි වෙමින්
කඳුළු පිසියි දෙපට සිව්රෙන්

බෝ ගසට අරක්ගත් නාගයා
පසුගිය අමාවක දා
කාටත් නොපෙනෙනායුරෙන්
ඇවිත් ලැගුම්ගෙට (23 පිට)

මේ කවිය තේරුම් ගන්නා සිත් ඇති සහෘදයෙකු ‘අර්ධ’ කියවා නොකිපෙනු ඇතැයි සිතමු. මනුෂ්‍යයෝ වනාහී කම්පිත වන්නෝය. පංචකාමයෙන් ඈත්වීම ධර්මගත කරුණක් වුව ද පෘථග්ජන සමාජයෙහි වෙසෙමින් ඉන් ගැලවී සිටීම පහසු නැත. අප දන්නා සියලු භික්ෂූහු අකම්පිත නොවෙති. ඔවුහු ගිහියන්ට වඩා කම්පිත වන්නෝය. උවසු-උවැසි, දැසි-දසුන්,               රථ-වාහන, ඉඩම්-කඩම් මෙන් ම ජාති-ආගම් නාමයෙන් කම්පිතව කෙලෙස් වපුරවති. කෙලෙස් ම නෙලා ගනිමින් සිටිති. මීට ඔවුන්ගේ පිළිතුර නම් ධර්මයෙහි හැසිරෙන්නටත් රටක් අවැසිය යන්නයි. ඒ බුද්ධ ධර්මයය. මේ බුද්ධ ආගමය. දැන් දෙකේ කවර වෙනසක් ද? පත අට එකට සිඳවා ගත්කල පෘථග්ජනයින්ටත් වඩා ඇලුණු භික්ෂූන් නීතියටත් ඉහළින් සිටිති.



මේ ශක්තිකගේ තවත් කවියකි.


(අ)කාලික ධර්මය.
කාලීන ධර්ම දේශනය
ශ්‍රවණය කරත්
ශ්‍රද්ධාවෙන් පින්වත්හු
වටාපතින් මෑත්ව
පෙනේ පුන් සඳ

තල් වැටට මුවා වී
කඳුළු ලියකම් වලින්
ගෙත්තම් කළ
වටාපත

‘රට රැකගන්නට
රණ බිමේ
යුද වැදුණු
රණවිරුවනට
කරමු ආශීර්වාද’

සාදු! සාදු!! සාදු!!!

අකාලික බුද්ධාගම් පොතේ
පිටු අතර වැඩ හිඳී
රෝහිණී නිදියේ දිය දබරය
වැළකූ බුදු සමිඳ (27 පිට)

ඒ බුද්ධ ධර්මයය. මේ බුද්ධ ආගමය. නැවත කියන්නට ඇත්තේ ඒ පාඨයමය.


දිනෙන් දින මතු වන මැතිවරණ උණුසුමත් සමඟ ශක්තික සත්කුමාර කතාවස්තුව තව තවත් යට යනු ඇත. නිර්මාණයේ කලාත්මක පක්ෂය හා ශිල්පියාගේ ප්‍රතිභාව ගැන කවර ප්‍රශ්නයක් තිබුණ ද ප්‍රගතිශීලී මතවාදයක් ඇති සියලු කලාකරුවන්-සාහිත්‍යකරුවන් මේ සිරගත කිරීමට එදිරිව සිටගත යුතුය. කලාත්මක ප්‍රකාශනය කෙරෙහි මේ බඳින වැටකඩොළු අපේ පරම්පරාවටත්, අපට පෙර හා පසු පරම්පරාවලටත් සුබ ලකුණක් නොවනු ඇත.

සිංහල භාෂාව උගන්වා මහා ධනස්කන්ධයක් රැස් කරන සරසවිවල කලා පීඨ හෝ ඒවායේ වැටුප් ලබන ඊනියා ඇදුරන් මේ වෙනුවෙන් පෙනී සිටීම තබා කන් යොමා වත් නැත. සරසවිවල නොහිටියත්, සාහිත්‍ය කලාව වෙනුවෙන් ඇපකැප වෙන සරසවි ඇදුරන් කිහිප දෙනෙකු හැරෙන්නට ඉතිරි සියල්ලෝමත්, ධනවාදයට එරෙහි වෙමු යැයි පාරම්බාන ශිෂ්‍ය සංගම්වත්  මේ වෙනුවෙන් පෙනී සිටීමක් සිදු කර නැත.

මේ සියලු තතු හමුවේ ශක්තික සත්කුමාර මාස ගණනක් හිර අඩස්සියේය.  කෙටිකතාවක් ලියූ වරදටය. කිසිදු අයුරකින් සාහිත්‍ය හෝ භාෂාව පිළිබඳ ප්‍රාමාණිකයන් යැයි සනාථ කළ නොහැකි චීවරධාරීන් පිරිසකගේ චෝදනා නිසාය. ශක්තිකගේ කවියකින් ම අවසාන කළ කල නිගමනය ඔබට භාරය.

තව දස වසරකින්
සව් පුරක් වේය මේ ලක
වේලක් කා දිනකට
සැම දෙන දකිව් ඒ සිහිනය

ඇවිත් ගොන් මඬලාවට
දෑත් විහිදා සිව් දෙස
විද්වත් ඇදුරු රංචුව
තප්පුලති රෙදි ඇඳගෙන (64 පිට)

ශක්තික “වෙඩි වැදුණු පන්හිඳ” ලියුවේ 2009 දීය. මේ ගෙවෙන්නේ 2019 ය. දසවසරක් ගොසිනි. ඔහුගේ කවියේ උත්ප්‍රාසය කාටත් වඩා ඔහු ඉදිරියේ ම මැවී ඇත.


(සියලු ඡායාරූප උපුටා ගැනීම් අන්තර්ජාලයෙනි)






Comments