ජනාධිපතිතුමනි, එයා නිකං මනුස්සයෙක් නෙවෙයි!

 කේ. ඩී. දර්ශන


හිරෝෂිමා නාගසාකි මතකද? ජපානයේ අහිංසක නගර දෙක ළතෝනි මැද්දෙ දියවෙලා ගිය අතීතය... ඇමරිකානු රජය අති බිහිසුණු පරමාණු බෝම්බ හෙළලා මකා දමපු සුන්දරත්වය... අද ඔබ පිවිසෙන්නේ ලාංකික නිදසුන් දෙකක් සමග පෑහෙමින් තවත් එවැනිම අත්දැකීමක් රැගත් සිනමාපටයකට. මේක Jong-woo park කොරියන් අධ්‍යක්ෂවරයාගේ Pandora.  
භූමි කම්පාවක් නිසා කොරියාවේ පිහිටි හන්බියුල් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමක් වෙනවා. ටොන් ගණනක් බර න්‍යෂ්ටික ද්‍රව්‍ය වාතයට නිරාවරණය වීමේ ඉඩකඩ තියෙද්දි පාලකයන් එහි මූල්‍යමය වටිනාකම් ගැන සහ රටේ ආර්ථිකය ගැන පමණක් සිතමින් ලක්ෂ ගණනක් ජනතාව අනතුරේ දානවා. දැවැන්ත ටැංකි තුළ සිසිලන ජලයේ ගිල්වා තබෙන න්‍යෂ්ටික ද්‍රව්‍ය, ජල කාන්දුව නිසා දරන්න බැරි තරමණට උෂ්ණත්වය ඉහළ දමමින්, ගොජ දමමින් පැසවනවා. මේ පැසවීම අවසන් වෙන්නේ ලක්ෂ ගණනක මිනිස් ජීවත අනතුරේ හෙළමින් අහිතකර විකිරණ වාතයත් සමඟ මුසු වී නගර ගම් දනව් කරා පැතිරීමෙන්. 

පැන්ඩෝරා අවසන් වෙද්දිම තිරයේ ලියවෙන්නෙ මෙන්න මෙහෙමයි. කොරියාව කියන්නෙ ලෝකයේ වැඩිම න්‍යෂ්ටික බලාගාර සාන්ද්‍රණයක් සහිත රටකි. 2016 වන විට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 26ක් හා න්‍යෂ්ටික බලාගාර 6ක් ක්‍රියාත්මක වෙනවා. විකිරණ පැතිරීමට ඉඩකඩ තිබෙන කිලෝමීටර තිහක ප්‍රදේශය තුළ නගර විසි අටක මිනිසුන් තවමත් වාසය කරනවා. ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ විකිරණ කාන්දුවෙන් පසුව ලෝකයම එහි අවධානම ගැන විමසිල්ලෙන් පසුවුණත් කොරියාව තව තවත් න්‍යෂ්ටික බලාගාර සෙල්ලම දිගටම යාවත්කාලීන කරගෙන යනවා. මේ තත්වයේ භයංකර බව කොයි තරම්ද කියනව නම් සිනමාපටය නරඹද්දි ඔබේ හදවත කවරදාකටවත් වඩා භයෙන් ගැහෙන්න ගනීවි. විනාඩි ගාණක් ඇතුළත ලේ වමනය, පිටත ශරීරය් මස් ගැලවීම, හම උණු වීම දකින්න පුළුවන්. මරණය කියන්නෙ වැඩි දුරක තියන දෙයක් නෙවේ. තත්පර කිහිපයකින් විකිරණ සමග එකතුවෙන්න මරණයට පුළුවන්.


මෙහි ඛේදාන්ත වීරයා තරුණයක්. ඔහු ජේ හියොක්. සිනමාපටය ඇරඹෙන්නෙ ඔවුන් පුංචි කාලෙ මුහුදු වෙරළේ සිට බලාගාරය දෙස බලා එය කුමක්දැයි නිර්වචනය කරන දර්ශනයකින්. වැඩිහිටියන් ඔවුන්ට කියපු විවිධ අර්ථ පිරිස බෙදාගන්නවා. උස කුලුන පෙන්වමින් අයෙක් මෙට රයිස් කුකර් එකක් විදියට හඳුන්වනවා. විශාල ප්‍රමාණයේ රයිස්කුකර් එකක්. ඒක බොහෝම විශාල, වතුර උණු කර විදුලි බලය නිපදවන යන්ත්‍රයක් කියල නිර්වචනය වෙද්දි තවත් ළමයෙක් ඒක ලොකූ රොබෝ කෙනෙක් විදියට හඳුන්වනවා. හැමෝටම වෙනස් අර්ථකථනයක් දෙන්නෙ එතන ඉන්න ගැහැනු ළමයා. ඇය කියන්නෙ තමංගෙ ගුරුවරිය කියා දුන්න විදියට මේක ඇතුළෙ ඉන්නෙ භයානක යක්ෂයෙක් කියලයි. මේ හැමෝම වැඩිවියට පත්වුණාම ඒ රයිස්කුකර් එක ඇතුළෙ සේවය කරනවා අපිට දකින්න පුළුවන්. ජේ හියොක්ගේ පෙම්වතිය මුලදි අපට හමුවුණ පුංචි දැරිවියයි. ඇගේ නම යොන් ජූ. ජේ හියොක්ගේ අම්මා, නෑනා සහ නෑනාගේ පුතා අපිට මීළඟට හමු වෙනවා. ඔහුගේ තාත්තා සහ අයියා මීට අවුරුදු ගානකට කලින් විකිරණ කාන්දුවීමකින් දරුණු ලෙස මිය ගිහින්.
මීට අවුරුදු කිහිපයකට කලින් ලංකාවේ රතුපස්වලින් මීට තරමක් සමාන අත්දැකීමක් මතුවුණා. ලංකාවේ න්‍යෂ්ටික බලාගාර නැතත් රසායන ද්‍රව්‍ය සහ විෂ වායූන් වර්ග නිසා ඇතිවන මරන නිතරම අහන්න ලැබෙනව. මේ සිදුවීම් අහඹු සිදුවීම් නොවී, පාලකයන්ගේ නොසැලකිල්ලෙන් වන නිසා කිසිම සමාවක් නැතිව විවේචනය කළ යුතුයි. රතුපස්වල පෞද්ගලික ආයතනයක රසායන ද්‍රව්‍ය නිසි අයුරින් බැහැර නොකිරීම නිසා ඒ ප්‍රදේශයේ භූගත ජලය අපවිත්‍ර වුණා. මිනිස්සුන්ට තියා සත්තුන්ටවත් බොන්න බැරි තරමට ජලයේ පීඑච් අගය ආම්ලික තත්වයක් ගත්තා. ජනතාව මීට විරෝධය පාමින් පාරට බැස්සත් රජය කළේ සමාගමට එරෙහි වීම පැත්තක තියලා අහිංසක මිනිසුන්ට වඩි තැබීම. තුන් දෙනෙක් මැරුණා. පැනඩෝරා සිනමාපටයේ වෙන්නෙත් මෙවැන්නක්. රජය බලන්නෙ යන්ත්‍රෝපකරණ ආරක්ෂා කරන්න. ඔවුන්  පුපුරන්නට ආසන්න වෙලා තියන බලාගාරයේ ප්‍රතික්‍රියාකාරකය සිසිල් කරන්න මුහුදු වතුර ගන්න ඉඩ නොදෙන්නෙ ලුණු වතුරෙන් යන්ත්‍ර අබලන් වේවි කියලා. ජනතාව ආරක්ෂා කරනව වෙනුවට රතුපස්වලදි වුණෙත් ලංකාවේ අංක එකේ ධනකුවේරයා වන සමාගමේ අයිතිකාර ධම්මික පෙරේරා ආරක්ෂා කිරීම.


අනක් නිදසුන තමයි, පසුගිය සතියේ හොරණ රබර් කම්හලක සිදුවූ අනතුර. අනාරක්ෂිතව රසායන ද්‍රව්‍ය ගබඩා කිරීම නිසයි මේ අනතුර සිදු වෙලා තියෙන්නේ. මේ නිදසුන් දෙක අපි කතා කරන සිනමාපටය තරම් දැවැන්ත නොවුණත්, Pandora බැලීමෙන් පස්සෙ ඔබට තීරණය කරන්න පුළුවන් මේ හැම සිදුවීමකම යම් සමානකමක් තියනව කියන එක. 


ආයෙත් සිනමාපටයට ආවොත්, අපිට කඳුළු හෙළන්න වන අවසානයක් උදා වෙනවා. ජනාධිපතිට සිදු වෙනවා ජාතියෙන් සමාව ගන්න. මේ වෙද්දිත් විකිරණ කාන්දු වෙලා. කළ හැකි කිසිවක් නෑ. තියන එකම පිළියමත් කිසිවෙක්ට කරන්න කියල අණ කළ හැක්කක් නෙවේ. බලාගාරයේ සිසිලන ජල කාන්දුව පෑස්සිය යුතුයි. ඒත් මේ මොහොතේ කාටවත් එහි යන්න බෑ. හේතුව තමයි කාට වුණත් එතන තියන තත්වය උඩ ජීවත් වෙන්න පුළුවන් උපරිම විනාඩි පහක් දහයක් පමණයි. ඒ තරමටම විකිරණ විනාශකාරීයි. ජේ හියොක් සහ මිතුරු පිරිස දිවි කැපවීම කරන්න සුදානම්. ගම්වැසියන්, ඔවුගේ දරුමල්ලන්, ඥාතීන්, ජේ හියොක්ගේ පවුගේ අය, පෙම්වතිය මේ හැමෝම පුළුවන් තරම් දුර යන අතරෙ ජ් හියොක් හැමෝම වෙනුවෙන් මරණය තෝරගන්නවා. සිසිලන ජලකාන්දුව හදන්න බෑ. පළුද්ද විශාලයි. දොර ඊයම් දමා පෑස්සීමෙන් පසුව අභ්‍යන්තර පිපිරීමකට ලක් කළ යුතුයි. සියල්ලන් වෙනුවෙන් ජේ හියොක් පුපුරගෙන මැරෙනවා. ඔහු පමණක් සියල්ලන් වෙනුවෙන් මැරෙනවා. ශෝකයෙන් ඇළලීගත් ජනාධිපති අන්තිමට අහනව විදුලිබලාගාර පාලකතුමාගෙන් අර මනුස්සයට මොකද වුණේ ?” කියලා. පාලකතුමා දෙන පිළිතුර තීක්ෂණයි. ප්‍රේක්ෂකයාගේ ගැස්ම හදිසියේ නවත්වා ගල් කරනවා. ජනාධිපතිතුමනි, එයා නිකං මනුස්සයෙක් නෙවෙයි. එයා කන්ග් ජේ හියොක්...!

(සියලු ඡායාරූප උපුටා ගැනීම් අන්තර්ජාලයෙනි)

Comments