SAMSARA ; ශිෂ්ටාචාරයේ අඳුරු ආගාධයක අතරමං වීම සඳහා
කේ. ඩී. දර්ශන
මිනිස්සු ශිෂ්ටාචාර හදාගෙන මිලේච්ඡ
බවෙන් මිදෙන්න ගත්තෙ ලෝක ඉතිහාසයේ කවද ඉඳලද? මේක හරියට ම ටක්කෙට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්. තිරිසන් සතුන්ගෙන්
මිනිසා වෙනස් වෙන්නෙ මිනිස්සුන්ට තර්ක බුද්ධියත් එක්ක ශ`මය වැය කරන්න පුළුවන් නිසයි. ලෝකය ම
විස්මයට පත් කරපු විස්කම් හැම එකක් ම මැවුණෙ මිනිසා සතු මේ සුවිශේෂ හැකියාව නිසයි.
ඒ විදියට විස්කම් ගොඩ නැගීමේ මිනිස් ඉතිහාසය අවුරුදු ගණනාවක් ආපස්සට දිව ගියාට
ස්වභාවික මිනිසා කවදාවත් සම්පූර්ණයෙන් අපෙන් මිදෙන්නෙ නෑ. වනන්තරය හා මිනිසා
කියන්නෙ ඒ තරමට ම අවියෝජනීය සම්බන්ධයක් තියන දෙන්නෙක්. අවුරුදු මිලියන ගාණක
ඉතිහාසය අපිව ඇදල ගන්නෙ කෘතිම බිල්ඩින්වලට නෙවේ; හරිත වන තීර වෙත, නිල් දිය ඇළි වෙත, මහා ගිරි මුදුන් වෙත.
කලින් කියවපු පූර්විකාව දැන් ඔබට
වැදගත් වෙයි. අපි දැන් සූදානම් වෙන්නෙ ලෝකයේ මෙතෙක් බිහි වූ අසමසම වාර්තා
සිනමාපටයක් ගැන කතා කරන්න. අපි අපෙන් ම ඈත්වෙලා මොනවද මේ කරන්නෙ? උත්තරය චිත්‍රපටය අවසානයේ ලැබෙයි කියලා
බොරු කරන්න බැහැ. හැබැයි මේ වගේ දෙයක් නම් කල්තියා කියනන පුළුවන්. උත්තර වෙනුවට
ඔබට ප්‍රශ්න ගොඩක් හා අසීමිත හැඟීම් ගොන්නක් ඉතිරි කරලා සිනමාපටය නිම වෙයි.
Ron Fricke කියන අධ්යක්ෂවරයාගේ SAMSARA
වාර්තා සිනමාපටය ඔබ නැරඹිය යුතු මූලික ම හේතුව තමයි චිත්‍රපටය වින්දනය
කරන්න කිසිම භාෂාවක් අවශ්‍ය නැති වීම. සිනමා භාෂාව හැරෙන්න කථා කරන කිසිම භාෂාවක්
නරඹන්නාට ඕනෙ වෙන්නෙ නෑ. රටවල් ගණනාවක අති විස්මිත වගේ ම අති සුන්දර, අති බිහිසුණු දසුන් ගණනාවක් මෙහි
ඇතුළත් වෙනවා. සොබාදහමේ ම නිමැවුමක් වන ගිනි කඳු ආරම්භයේ දී ම කැමරාව හරහා ප්‍රේක්ෂකයා
වෙත ගෙන එන්න Ron Fricke පුදුම සමත් කමක් දක්වනවා. අපි ඒ කියන්නෙ
මිනිසා සංස්කෘතියක් ගොඩනගාගෙන ජීවත් වීම අරඹනවත් එක්ක ම මිනිසාට එරෙහිව සොබා දහමේ
නැගිටීම් ටිකෙන් ටික පටන් ගන්නවා. ඊට පස්සෙ මිනිසා සහ සොබා දහම අතර අරගලය පටන්
ගන්නවා. මේ අරගලයේ ප්‍රතිඵලයක් තමයි නූන විද්‍යාව. සැබෑ ප්‍රශ්නවලට උත්තර හොයද්දි
විද්‍යාව බිහි වෙනවා. නිකම් ම නිකම් වාර්තා චිත්‍රපටයක් නොවී, එක පාරක් බලපු කෙනෙක් තවත් කිහිප
වතාවක් බලන්න තරම් SAMSARA සිනමාපටය සූක්ෂමයි. වාර්තාවක් නෙවේ
කතන්දරයක් වගේ.
චිත්‍රපටය අතරතුර දක්නට ලැබෙන දරුවන්
බෞතීස්ම කිරීමේ දර්ශනය ඇත්තට ම වැදගත්. බෞතීස්ම කිරීම කියන්නෙ බිළිඳු මානවයා
සංස්කෘතික සමාජයට ඇතුළත් කිරීමයි. ඒක හුදු වාර්තාමය අර්ථයෙන් සංස්කෘතිකාංගයක්
පමණයි කියන්න පුළුවං. ඒ වුණත් අධ්යක්ෂවරයා එකකින් නොනැවතී තවත් රූපරාමු ගණනාවක්
එකින් එක බද්ධ කිරීම නිසා කිසියම් වෘත්තාන්තයක් වුණත් ගොඩනගා ගන්න පුළුවන්.
ගෝලීයකරණය වූ ලෝකයක මිනිස්සු රොබෝවරුන්
වගේ එහෙ මෙහෙ දුවද්දි මුහුණු පුරා වර්ණ ගාගත්, දුනු හීවලින් දඩයම් සොයා ගන්න ගෝත්‍රික ජනයා දකින්න පුළුවං. යුද්ධය
නිසා මුහුණ තිරිවාන ගලක් වගේ වටකුරු වුණු හමුදා නිලධාරියා වගේ ම ගෝත්‍ර චාරිත්‍රයක්
නිසා කන් පෙති දෙකය ඉරී එල්ලා වැටෙන මැහැල්ලක් ඔබ ඉදිරියේ පෙනී සිටීවි. යුද්ධයේ
සාපරාධී බව කියාපාන ගමන් ම තුවක්කුව ආයුධයකින් නොනැවතී බලගතු මැජික් යෂ්ටියක් වන
හැටිත් SAMSARA බලන ඔබට දකින් ලැබේවි.
පපු කුහර හාරගෙන යන තරම් තියුණු සංගීතය
නිසා ඕනමෙ ප්‍රේක්ෂකයෙක්ට SAMSARA වැළඳ ගන්න වෙනවා. ඔබටත් ඒ දේ සිදු
වෙන්න පුළුවන්. නිතර දෙවේලේ කුණු නිර්මාණවලින් හෙම්බත්වෙලා ඉන්න ඕනෙම කෙනෙක්ට
ඇවිත් සිනමා කවුළුවෙන් එබෙන්න පුළුවන්. කවුළුව වෙත පැමිණි අඩි සලකුණු මිස නැවත ගිය
සලකුණු නොවුණොත් ඔබට තීරණය කරන්න වෙනවා ශිෂ්ටාචාරයේ අඳුරු අහුමුල්ලක ඒ අය හිරවෙලා
ඇති කියලා. ඒ තරම් බලගතු කාන්දමක් SAMSARA සතුයි. දැන් ඔබේ වාරෙ...
Comments
Post a Comment