පාරාදීසයක කඳුළු මතින් ආදරය ගැන දෙබසක් - 01කොටස
කේ.ඩී. දර්ශන
පසුගිය බදාදා(18) සවස් යාමය වෙන් වූයේ ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ ‘පාරාදීසයක කඳුළු’ වාර්තා චිත්‍රපටය නැරඹීම සඳහායි. ඊට දිනකට එපිට දින, ඒ කියන්නෙ 16 සඳුදා දින සවස් භාගය අජිත් ගලප්පත්ති ලියූ ‘රූපයේ අසන්ධිමිත්‍රකම’ කෘතිය එළිදැක්වීමේ වැඩසටහනේ දී ගෙවී ගියා. මෙම දෙවන දිනයේ අසෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘ආදරය ගැන දෙබසක්’ කෙටි චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. මේ කෙටි සටහන ධර්මසිරිගේ ‘පාරාදීසයක කඳුළු’ සහ හඳගමගේ ‘ආදරය ගැන දෙබසක්’ පිළිබඳ අදහසක් පළ කිරීම සඳහායි.
පාරාදීසයක් යනු සතුට පරම වූ ස්ථානයක් හෙයින් එහි කඳුළු තිබිය නොහැකියි. එහෙත් ධර්මසිරි අප වෙත ගෙන එන්නේ පාරාදීසයේ කඳුළුය. මෙය උත්ප්‍රාසවත් නාමකරණයක්. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනයේ පටන් 83 කළු ජූලිය දක්වා දිවෙන (ඊට පෙර චිත්‍රපටය පාරාදීසය සොයා නම් විය. මා එය නරඹා නැත.)කාල වකවානුව අළලා පාරාදීසයක කඳුළු නිර්මිතයි.
අධිපති කථිකාව විසින් යටපත් කරන ලද ලංකාවේ මෑත ඉතිහාසය හෙවත්, සිංහලෝත්තමවාදී ඉතිහාසය දෙස විසංයෝජනීයව බලන්න පාරාදීසයක කඳුළු මග කියනවා. මීට වසර කිහිපයකට පෙර මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි “මහාවංශය දෙස විසංයෝජනීයව බැලීම” පිළිබඳ රාවයට ලිපි මාලාවක් ලිව්ව. එයින් ඈත කාලීන අධිපති ලංකා ඉතිහාසය දෙස විසංයෝජනීයව බලන්නා ආරාධනා කෙරුණා. අප කතා කරන සිනමාපටය කිරගත වන්න කලින් මහාචාර්ය ජයන්ත අමරසිංහ කළ අදහස් දැක්වීමේ දී වැදගත් කාරණාවක් මතු කළා. ඒ තමයි සෙනරත් පරණවිතාන මහතා ප්‍රමුඛ නඩය ලංකා ඉතිහාසය ලේඛන ගත කරද්දි හිතාමතාම ලංකාවේ දමිළ ඉතිහාසය මගහැරියා කියන කාරණාව. මහාචාර්ය කේ. ඉන්ද්‍රපාලගෙ The Evolution of an Ethnic Identity: The Tamils of Sri Lanka කෘතිය පිළිබඳ සඳහන් කරමිනුයි අමරසිංහයන් මේ කාරණාව මතු කළේ.
ශාස්ත්‍රාලීය වශයෙන් ද සෘජුව ම දේශපාලන අධිකාරිය විසින් ද යටපත් කරන ලද මෙම යටගියාව මෑත කතාන්දරය මතු කළ වහාම එය අන්තවාදී හෝ එල්ටීටීඊ හිතවාදී ව්‍යාපෘතියක් බවට ලඝු කිරීම සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය හැකි දෙයක්. ඒ අපවාදය ධර්මසිරි බණ්ඩාරනායකට එල්ලවීමට නියමිතයි.
මා සිතන අන්දමට චිත්‍රපටයේ හැඟීම්බර උච්ච කූඨය හමුවන්නේ යාපනය පුස්තකාලයට ගිනිතැබීමේ සිද්ධිය පෙන්වද්දීයි. නුහුමාන්ගේ පද්‍ය, ගායනයට හා රූප සංරචනයට ලක්ව දිගහැරෙන ඒ මොහොත වූ කලී ඇඟ හිරිගඩු නංවන, භීතීය - ශෝකය හා අපරිමිත පසුතැවීමක් සහෘද සිත්වල තවරන විනාඩි කිහිපයක්. (මහාචාර්ය නුහුමාන්ගේ කවියේ පරිවර්තනයක් පහත පළවේ)
බුදුන් ඝාතනය කිරීම
පෙරදින මගේ සිහිනෙක
බුදුහු වෙඩි වැදී මියැදුණහ
සිවිල් ඇඳුමෙන් සැදුණු
බල සෙනග
උන් වහන්සේ ඝාතනය කළහ
තිබිණ බිම ඔත් ලේ විලක් මත
ශ්‍රී දේහය
යාපනය පොත් ගුලට ඇතුළුවන
පඩිපෙළ ළඟම
රැයේ අඳුරේම – ඇමතිවරු ආහ
'මේ නම අපේ ලැයිස්තුවේ ලියා නැත
ඉතින් මොන එහෙකට
මරා දැමුවේ ඔහොම ?'
කිපී ගුගුළහ
'නෑ සර්
වැරුද්දක් නෙමෙයි මේ
උන් වහන්සේගේ ප්‍රාණය නොසිඳ
මැස්සකුවත් මරන්නට නොහැකි වෙයි
අන්න ඒ නිසාමයි…'
පිළිවදන් දෙති
'හරි හරි
සඟවන්න ඔය දේහය'
එසේ කී ඇමතිවරු
සැගවුණහ
සිවිල් නිළධාරීහු
ඇදගෙන ගියහ ඇතුළට
බුදුන්ගේ ශ්‍රී දේහය
පොත් අනූ දහසකින් සැඟවූහ එය
අනතුරුව
සිඟාලෝවාද සූත්‍රය – දන්වන්නාහුය
දැවී අළු විය
ශ්‍රී දේහය
ධම්ම පදයද භෂ්ම වී ඇත
(පරි : නිලාර් එන් කාසිම්)
විස්තර කිරීමට භාෂාව අසමත් මේ සිදුවීම ගැන දමිළ කවියෙකු වන ජෙයපාලන් මෙසේ කියා ඇත.
"රෑ පුස්තකාලයට ගිනි තැබූ පුවත බලන්න ගිය අපි හැඩූ කදුළින් ඉද්දී ඊට මීටර් සීයක් තරම් ඈතින් සිටි හමුදාව අත්පුඩි තලමින් බයිලා කියමින් හූ කියමින් හිනාවුණා. අපි වුණත් ආයුධ ගැන විශ්වාසයක් තිබ්බෙ ඒ වෙලාවෙ. ජනතාව එතන ඉකිබිදිමින් විලාප දුන් හඩ තාමත් නින්නාද වෙනවා..."
__________________________ ____________
දෙවැන්න දේශපාලන උච්ච කූඨයයි. ජේ.ආර්.ජයවර්ධන මධුසාදයක දී පවත්වන කතාවක දර්ශනය (රොනල්ඩ් රේගන් ඇතුළු පිරිස සමඟ) ලංකාවට නවලිබරල්වාදය ගෙන ඒමේ උත්සහාය ඉඟි කරනවා. එදින සංවාදයේ දී විදර්ශන කන්නංගර කී පරිදි ම ජේ.ආර්. යනු ස්මාර්ට් මිනිසෙක්. ඔහු වාර්ගික අර්බුදය ඇවිළුවේ ජාතිවාදියෙකු නිසා නොව, නවලිබරල් හුළඟට පහසුවෙන් දොරවල් ඇරීමේ කුරිරු උපායශීලීත්වය සිතේ තබා ගෙනයි. අවසාන නිගමනයේ දී ජේආර් ස්මාර්ට් යන්න කිසිසේත් නිදහසට කාරණයක් නොවී, ධනවාදයේ කුරුරු ප්‍රකාශනයක් ලෙස හඳුනාගැනීම වැදගත්.
පාරාදීසයක කඳුළු නිමවන්නේ කාල් මාක්ස්ගේ ප්‍රකට කියමනකට සමාන අරුත් නංවන කියමනක් තිරයේ දිස්කරමිනුයි.
“ඉතිහාසය යනු මානව ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසයයි”
මෙය මාක්ස් කීවේ මේ විදියටයි.
“ඉතිහාසය යනු පංති අරගලයන්ගේ ඉතිහාසයයි”
_______________
ධර්මසිරි බණ්ඩාරනායකගේ අභීත ප්‍රයත්නයට අපි හිසනමා ආචාර කළ යුතුයි.
(තාක්ෂණික හෝ කලාත්මක විනිශ්චයන් පසෙක තිබේවා, මේ අසීරු දේශපාලන ප්‍රයත්නය වෙනුවෙන් ධර්මසිරි බණ්ඩාරනායකට නිසි ගෞරවය දිය යුතුවා සේ ම මෙදින චිත්‍රපට දර්ශනය සංවිධානය කළ සේපාල් අමරසිංහට ස්තුති කළ යුතුයි.)
-තවත් කොටසක් ඉදිරියට-
Comments
Post a Comment