පාරාදීසයක කඳුළු මතින් ආදරය ගැන දෙබසක් - 03 කොටස
කේ.ඩී. දර්ශන
03 කොටස
03 කොටස
පාරාදීසයේ කඳුළු මතින් ආදරය ගැන දෙබසක් පිළිබඳ ලියැවෙන සටහනේ අවසන් කොටස මෙයයි.
මේ කෘති දෙකම ඓතිහාසික වශයෙන් වැදගත් කාලාවකාශයක ජනගත වන දේශපාලන කියැවීම් කරා ඇරයුම් කෙරෙන නිර්මාණ දෙකක් බව කිව යුතුයි. නට්සි පන්නයේ පාලනයක් හා වැඩවසම් රාජවංශයක් ඉල්ලා සිටින අතරතුර සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය මතට ගෙන දැමූ ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘පාරාදීසයක කඳුළු’ ඒ අර්ථයෙන් විශේෂ වෙද්දි චීන ණයවලින් හා මහජන බදු මුදලින් ඉදිවුණු නෙළුම් කුලුණ විවෘත වන දිනයේ තිරගත වුණු අශෝක හඳගමගේ ‘ආදරය ගැන දෙබසක්’ තවත් ආකාරයකින් විශේෂ වෙනවා. මේ දෙකම දේශපාලන අර්ථ රැගත් කලා කෘති නිසා ම එකට තබා විමසීමේ වරදක් නැහැ.
බලවත් සංස්කෘතිය විසින් දුර්වල එසේත් නැත්නම් සුළුතර සංස්කෘතිය මත ආධිපත්‍යය පැතිරවීමේ අඛණ්ඩ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මෙරට දමිළ ජනතාවගේ සංස්කෘතිය සෑම විටම අවවරප්‍රසාදිත තැනකට යොමු කෙරුණා. සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ වර්ගීකරණය ශුද්ධ යැයි සිතා කටයුතු කිරීමත්, දමිළ ජාතිය දුෂ්ටයාගේ තැනට දමා කටයුතු කිරීමත් පහුගිය දශක කිහිපය පුරාමත් සිදුවූවක්. දෙමළ විමුක්තිකාමී අරගලය යුදමය වශයෙන් පරාජය වීමත් සමඟ දෙමළා කෙරෙහි වූ උපරීම වෛරය මුසල්මානුවා කෙරෙහි යෙදවීම සිදු ව තිබෙනවා. එහි කූඨප්‍රාප්තිය සළකුණු කළේ 21 පාස්කු දා ප්‍රහාරයත් සමඟ ගොඩනැංවුණු මුස්ලිම් භීතිකාව විසිනුයි. ‘ජාතිය යනු පරිකල්පනීය ප්‍රජාවක්’ ලෙස මහාචාර්ය බෙනඩික්ට් ඇන්ඩර්සන් පෙන්වා දෙනවා. එය සැබෑ ලෝකයේ නොපවතින්නක් වන අතර ඉඳුරාම සංස්කෘතික ගොඩනැංවීමක් බව ඉන් පැහැදිලි වෙනවා. මෙම පරිකල්පනීය දෙය, නොඑසේ නම් ප්‍රබන්ධය මත සිට තමයි ලංකාවේ පාලක පංතිය මහජනයා මැතිවරණ වෙත ගාල් කරන්නේ. ධර්මසිරි බණ්ඩාරනායකගෙ චිත්‍රපටය ගැන විදර්ශන කන්නංගර මුහුණු පොතේ ලියල තිබුණු ලිපියක එක් වාක්‍යයක් මෙහෙමයි.
“එහි අවධාරණය වන්නේ සිංහල බෞද්ධ වාර්ගිකත්වය විසින් නිර්වචනය වූ ඉතිහාසයක ප්‍රචණ්ඩත්වයයි.”
මෙය පාරාදීසයක කඳුළු සමස්තය තනි වාක්‍යයකට ගෙන ඒමක්. අප කතා කළ දෙවන චිත්‍රපටය වූ අශෝක හඳගමගේ කෙටි චිත්‍රපටයේ දක්නට ලැබුණේ මෙසේ නිර්වචනය වෙමින් පවතින ඉතිහාසයක ඊනියා ආශ්චර්යමත් වර්තමානයේ සංවර්ධන සුරතාත්තය යට අර්බුදයට ගිය යෞවනත්වයයි. තවත් පැහැදිලි කළොත් ප්‍රේමය යන පරමානන්දනීය සුවය වෙනුවට අශිෂ්ට ධනවාදය විසින් අත්කර දී ඇති ඩිම්බයක හා ශුක්‍රාණුවක හුදු සංසේචනයයි. එය වින්දනීය, ආනන්දනීය මතකයක් වෙනුවට බිඳුණු අභිප්‍රායන් සලකුණු කරනවා.
ඒ අන්දමින් මේ නිර්මාණ දෙක යා කළ හැකියි.
ධර්මසිරි සිංහල බෞද්ධ වාර්ගික ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය අවධාරණය කළ ද එය දෙමළ බෙදුම්වාදයට කඩේයාමක් ලෙස බැහැර වීමේ අවධානම පවතින බව පෙර ලිපියේ ද සඳහන් කළා. හඳගම දැන් ඒ අවධානමෙන් ටිකෙන් ටික දුරු වෙලා පවුල, පෞද්ගලික නිදහස(ආත්මීය) වගේ මාතෘකා කතා කරන්න පටන් අරන් තියන නිසා ධර්මසිරිට එන පන්නයේ චෝදනාවලින් මිදිලා ඉන්න පුළුවන්. ඒ වෙනුවට දීප්ති ප්‍රමුඛ නඩය විසින් ගොඩනගන ලද කථිකාවේ අතිරික්තය විසින් ඔහුව ඕනෑවටත් වඩා කුල්මත් කිරීමේ අවධානමක් නම් තියනවා. එසේ ම ඒ ආභාසය යැයි කියාගන්නා විවිධ අප්‍රභංසයන් විසින් හඳගම පෙන්වන යථාර්ථය ප්‍රේක්ෂාගාරයෙන් දුරස් කරන්න ඉඩ තිබෙනවා. 16 සඳුදා හවස දීප්තිගේ විවේචනයට බඳුන් වූ* අජිත් ගලප්පත්තිගේ ‘රූපයේ අසන්ධිමිත්‍රකම’ කෘතිය එවැන්නක්(මේ ගැන සාධාරණ විවේචනයක් පසුව දක්වන්නම්). එසේ විවේචිත අජිත් ගලප්පත්ති ම 18 සවස පාරාදීසයක කඳුළු අවසන “දළදා මාලිගාවට ගහපු එක පෙන්නන්නැත්තෙ නැත්තෙ ඇයි?” කියා ධර්මසිරි බණ්ඩාරනායකගෙන් විමසනවා. පුද්ගල පරිභවයක් නොවී අවසාන වශයෙන් කියන්නට ඇත්තේ සිනමාව පමණක් නොව, සිනමා විචාරය ද දුෂ්ටයන්ගෙන් ගලවා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදු වන බවයි.
දීප්ති කුමාර ගුණරත්න මහතාගේ කතාව - ඔජායේ සංස්කෘතියට බයද ?https://www.youtube.com/ watch?reload=9&v=KbtRemI_RL 0
—
Comments
Post a Comment