පාරාදීසයක කඳුළු මතින් ආදරය ගැන දෙබසක් - 02 කොටස
කේ.ඩී. දර්ශන
16 වන දා තරංගනීහි දී තිරගත වුණු අශෝක හඳගමගේ 'ආදරය ගැන දෙබසක්' කෙටි චිත්‍රපටය ගැන සටහනක් මේ කොටසෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා. අජිත් ගලප්පත්තිගේ රූපයේ අසන්ධිමිත්‍රකම කෘතිය ජනගත කිරීම ප්‍රධාන අංගය වුණත් එහි වැදගත්ම අංග දෙක විදියට පෙනී ගියේ හඳගමගේ කෙටි චිත්‍රපටය හා දීප්තිගේ (දීප්ති කුමාර ගුණරත්න) කතාවයි. (ආචාර්ය සරත් අමුණුගමගේ කතාවේ අලුත් යමක් නොවීය)
2017 වර්ෂයේදී හඳගම රාවයට ලියූ ලිපියක් නම් වූයේ "කිමෙද විප්ලවයකින් ඇති සරණය - නැතහොත් පොදුවේ බෙදා රමණය" ලෙසයි. මා සිතන හැටියට හඳගමගේ චින්තනයේ හැරවුම පෙන්වූ ගද්‍ය සාක්ෂ්‍යයක් ඒක.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ආභාසය රැගෙන කලාවට (වේදිකා /ටෙලි/සිනමා) බට හඳගමගේ ආස්ථානය මේ වනවිට පැහැදිලි හැරවුමකට ලක්වෙලා. වඩා ප්‍රගතිශීලී මුල් කලාකෘති ද පසු කලා කෘති ද යන්න විමසීම කලාවේ අර්ථයෙන් ම අයුතු ප්‍රශ්නයක්! මා අදහස් කරන්නේ මෙවැන්නක්.
විකොස වැනි සෘජු මාක්ස්වාදී අදහස් දරන සංවිධානවලින් හා ජවිපෙ වැනි අරගල විශ්වාස කරමින් සුළුධනේෂ්වරවාදය වෙත පැමිණි දේශපාලන ව්‍යාපාරවල ආස්ථානය පසු කරමින් හඳගමගේ කලාව මනෝවිශ්ලේෂනවාදය ප්‍රමුඛ මේ මොහොතේ ජනප්‍රිය කථිකාව වෙත පැමිණ තිබෙනවා. එයට මූලික ලෙසම දීප්ති ඇතුළු x දේශපාලනයේ ආභාසය බලපා ඇති බව හඳගමමත් පිළිගන්නා දෙයක්. ඊට අමතරව ඔහුගේ සමාජ තත්වය; අරගලකාරී ශිෂ්‍යයාගේ සිට මහබැංකුවේ සහකාර අධිපති දක්වා වන ගමන්මග කලාව පිළිබඳ ඔහුගේ ආස්ථානයට බලගතු බලපෑමක් එල්ල කරන්න ඇති.
සරලව අපිට මෙවැනි ප්‍රවාදයක් ගොඩනැගිය හැකියි. -එය සමාජවාදී සමානතා පක්ෂය (විකොස) ඇතුළු ට්‍රොට්ස්කිවාදී න්‍යාය මත පදනම් ව කලාව දෙස බලන කණ්ඩායම්වල සිට පශ්චාත් නූතන කථිකාව දක්වා දිවෙන ප්‍රවාදයක්.- ප්‍රගතිශීලී හඳගම යනු අර මුල් හඳගමයි. ධනවාදය පිළිබඳ ප්‍රශ්නය සෘජුවම සිය කලා කෘතිවලින් ඉදිරිපත් කළ හඳගමයි. එම යුගය හඳගමයානු කලාව/යුගය නම්, ඉන් පසු කලා භාවිතාව සමඟ උදාවූ යුගය පශ්චාත් හඳගමයානු යුගයයි. තවත් පැහැදිලිව කිව්වොත් හඳගම මියගොස් භූමදානය කළායින් පසු යුගයයි.
එය කළු සුදු වර්ගීකරණයක් වගේ. බැලූ බැල්මට හඳගමගේ මේ සංක්‍රාන්තිය (ඇන්ජලීනා ජොලී වෙනුවට චීන ඩමි සමඟ රමණය කරන්නට ආරාධනා කරන) ඔහුගේ කලාවට පෙම් බැඳි ප්‍රේක්ෂකයාට ගෙන එන්නේ වේදනාවක්. "ඇගේ ඇස අග" සහ "අසන්ධිමිත්තා" වැනි ආත්මයට නැඹුරු වූ කෘති පිළිබඳවත්, මෑතකදී එළිදැක්වුණු "මම දෝංකාරයයි" ගීතය පිළිබඳවත් මේ විවේචනය පැන නැගුණා.
@හඳගම තුළින් ඇසෙනා දෝංකාරය විසින් ඔහු විනාශ කර දාල ද?
"ආදරය ගැන දෙබසක්" හමුවන්නේ මේ අතරතුරේදීයි. සරල කතාවක්, සරල රූගත කිරීමක් සහිත කෙටි චිත්‍රපටය ආරම්භ වන්නේ නෙළුම් කුලුණ පසුබිමින් පෙනෙන රූපරාමුවකින්. උත්ප්‍රාසවත් කාරණය තමයි නෙළුම් කුලුණ විවෘත කරන දිනයේ ම පළමු ප්‍රදර්ශනය සිදුවීම.
හඳගමගේ සිනමාවටා ආවේණික ප්‍රකාශනවාදී ලක්ෂණ කැටුව දිගහැරෙන 'ආදරය ගැන දෙබසක්' කොළඹ අහස යට සංවර්ධනයේ පුරුෂ ලිඟු හෙවණේ සෝදාපාලු වන තරුණ ආත්මයන් පිළිබඳ කතා කරන්නට ඇරයුම් කරනව. පෙම් යුවල් තුනක් එකම ප්‍රශ්නයක් ගැන වදවෙමින් ඇවිද යන, හිඳිමින් කතා කරන අතරතුරේ කිහිපවිටක්ම නෙළුම් කුලුණ පසුබිමින් දිස්වෙනව. ඔවුන් කතා කරන්නෙ බඩට ආ දරුගැබක් පිළිබඳ ප්‍රශ්නයක්. තාරුණ්‍යයේ ආස්වාදය වෙනුවට ඔවුන් ඉදිරියේ පැන නැගී ඇති මේ ප්‍රශ්නය නිසා ආදරය ගැන දෙබස අපිට අහන්න වෙන්නෙ ඒ ආකාරයෙනුයි. තරුණියගේ වේදනාවත්, තරුණයාගේ සෙල්ලක්කාරී හා බරක්පතලක් නැති ප්‍රකාශත් හමුවේ වන වදන් හුවමාරු අවසානයේ චිත්‍රපටය නිමාවට ළඟා වෙනව. අවසන් දර්ශනය ත්‍රීරෝද රථයක් තුළ. එහි ඇතුළත සම්පූර්ණයෙන් ම අලවා ඇත්තේ ඇවටාර් චිත්‍රපටයේ ස්ටිකර්. ත්‍රීරෝද රථය තුළ මහ අමුතු වින්දනයකින් සිනාසෙන කලින් අප දුටු පෙමවතියන් දෙදෙනෙක් එකිනෙකාගේ තොල් සිපගන්නට ගොස් හදිසියේ ම ඒක නවතා දමනවා. පෙම් යුවල්, එකම ප්‍රශ්නය තිදෙනාගේම විෂය වීම, නෙළුම් කුලුණ, ඇවටාර් ස්ටිකර් සහිත ත්‍රීවිලරය, තරුණියන් දෙදෙනා සිප ගන්නට දරන තැත... සිනමාකරුවා ප්‍රේක්ෂකයා වෙත ගෙන එන ප්‍රමුඛතම සංඥායි. හඳගම මීට පෙර නෙළුම් කුලුණ ගැන ලියූ කවි පංතියෙන් කොටසක් උපුටා දැක්වීම මෙතනදී අවශ්‍යයි කියල හිතෙනවා.
"බේරේ වැව අද්දරින්
ඉහළ අහසට නැගුණු
සංවර්ධනයේ පුරුෂ ලිංගය
බදාගෙන අඬනවා ඉකිබිඳ
කාලෙකට ඉස්සර
කන්‍යාභාවය සිඳගත්
කොළඹ අහස...."
(නෙළුම් කුලුණ පාමුල සිට)
______________________
මේ අයුරින් අපිට පෙනී යනව හඳගම මැරිල නෑ කියල. ඒ නිසාම පශ්චාත් හඳගමයානු සිනමාව වචනය ඉවත් කරගන්නත් සිදුවෙනව.
-තවත් කොටසක් ඉදිරියට-
Comments
Post a Comment