නිම්නැති හඳුනා ගැනීම; City Light

කේ.ඩී.දර්ශන


ලෝකය අලුතින් චලනය වෙන්නට පටන් ගෙන ය. මහා විජ්ජාකරුවා තවමත් පරණ විදියට ම නිර්මාණ තනමින් සිටී. සටහන ඇරඹීමට පෙර තවත් යමක් කිව යුතු ය.

1884 ජනවාරි මස එක්තරා දිනෙක රාත්‍රී සේ වයේ යෙදී සිටි පොලිස් භටයෙකු යමක් දැක උමතු වූවකු මෙන් හැසිරෙන්නට විය. ඒ තත්පර කිහිපයක් චලනය වන විලියම් ප්‍රයිස් ග්‍රීන්ගේ ලොව ප්‍රථම සිනමා පටය දැකීම නිසාය. දැන් අපි මහා විජ්ජාකරුවා පිළිබඳ පුවතට නැවත පිවිසෙමු. ඔහු කවුරුත් දන්නා චාලි චැප්ලින් ය. අපේ අවධානය චැප්ලින්ගේ City Light චිත්‍රපටය පිළිබඳවය. 1931 දී නිහඬ City Light බිහිවන විට ලෝක සිනමාව කථාකරන්නට පටන්ගෙන ය. නිහඬ සිනමා යුගය නිමවී කථානාද සිනමාව ඇරඹී තුන් වසරක් ඉකුත් ව ඇත. ලෝක සිනමාව කටහඬ සමග ඉදිරියෙට දිවෙන විට චැප්ලින් පරණ පුරුදු ලෙස අභිනය සමග ගනුදෙනු කරමින් සිටී. පුදුම විය යුත්තේ මේ ගැන නොව, කථානාද සිනමාව පරදා මෙය ලද ආදායම් වාර්තා ගැන ද නොව, සිතාගත නොහැකි තරම් විසල් තාක්ෂණික චිත්‍රපට බිහිවන යුගයක City Light තවමත් නැවුම් වීමයි. ලෝකය පුරා ප්‍රේක්ෂකයන් නැවත නැවතත් එය ම නැරඹීම යි.


තවමත් City Light නරඹා නැති අයගේ පහසුව තකා කතා පුවතේ ඡායාමය සාරාංශයක් හෝ දැක්වීම වැදගත්ය.

චැප්ලින් සුපුරුදු ලෙස මෙහි රඟනුයේ පාදඩයෙකුගේ චරිතයකි. චිත්‍රපටය ඇරඹෙත් ම නගරයේ ප්‍රභූහු ජනකාය මැද සිට සාමයේ හා සෞභාග්‍යයේ පිළිරුව විවෘත කරන්නට සැරසෙති. පිළිරුවේ තිරය විවර කරත් ම පාදඩයා එහි නිදාසිටිනු පෙනෙයි. පහළින් එල්ලවන විරෝධය නිසා පාදඩයා අකරතැබ්බ මැද ඉන් බැස යයි. ඔහුට පදික වේදිකාවේ මල් විකුණමින් සිටින රූමත් අන්ධ යුවතියක මුණගැසෙයි. කතාව ඉදිරියට ඇදී යන්නේ මැය පදනම් කරගෙනය. ඇගේ දෑස් සුවපත් කිරීම සඳහා මුදල් සෙවීමට පාදඩයා නොයෙක් උපායන්වල යෙදෙයි. සියදිවි නසාගැනීමට උත්සාහ කරමින් සිටිය දී හමුවන කෝටිපතියෙකු බේරා ගැනීම නිසා පාදඩයාට අලුත් මිතුරෙකු හමුවේ. එහෙත් මිතුරුකම වෙරි වූ කල පමණි. පියවි සිහිය ලද විට කෝටිපතියා පාදඩයාව එළවා දමන්නේ තමා ඔහුව නාඳුනන බව කියමිනි. චැප්ලින් තරුණිය සුවපත් කිරීමට කුලී වැඩ කරයි. බොක්සිං තරගවලට සහභාගී වී හොඳට ම ගුටි කයි. අවසානයේ අහම්බයෙන් හමුවන කෝටිපති මිතුරාගෙන් මුදල් ඉල්ලා ගනී. තරුණියට මුදල් දී යන අතරතුර පොලිස් අත්අඩංගුවට පත් වේ. ඔහු හිරෙන් නිදහස් ව එන විට ඇය පූර්ණ සුවය ලබා අභිනව මල් කඩයක් ද දමාගෙන තමා සුවපත් කළ ධනවත් මහත්මයා එනතෙක් මග බලා සිටියි(ඇය සිතා සිටින්නේ ධනවත් මහත්මයෙකු තමාට උපකාර කරනවා කියාය). පීඩිත බවේ පත්ලට ම ගිලුණු පෙනුමින් යුතු පාදඩයා තරුණියගේ මල් වෙළඳසැල ඉදිරිපිට ගැටවරයන්ගේ කොලොප්පමට ලක් වෙයි. චිත්‍රපටය අවසන් වන්නේ තරුණිය පාදඩයා හඳුනා ගැනීමෙනි.

City Light කෙරෙහි ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගන්නා ප්‍රමඛත ම අංගය අන්ධ තරුණිය සුවකිරීමෙහි ලා පාදඩයා ගන්නා උත්සාහය යි. එනම් ඉතා සූක්ෂම ලෙස ප්‍රේමය පිළිබඳ සිදුවීමක් පදනම් කරගෙන කතාව ගලා යාම යි. දෙවැන්න චැප්ලින් මවන සෝපහාසය යි. චාලි චැප්ලින් හුදු විකටයෙකු නොවේ. වර්තමානයේ අපි දකින චිත්‍රපටවල හා ටෙලිනාට්‍යවල විකටයන් කරන දේවලට සිනාසෙන්නේ ඔවුන් ම ය. ප්‍රේක්ෂකයන් ඔහේ බලා සිටියි. චැප්ලින් මවන්නේ බඩ අල්ලාගෙන සිනාසිය හැකි තරම් ජවනිකා ය. ඔහු නිකම් ම සිනාසීමට අපට ඉඩ නොදෙයි. ඒ වෙනුවට සිතන්නට බලකෙරෙයි. ව්‍යාජ දේවලට අපහාස කරන ගමන් අපහාස නොවන අයුරින් සිනාසෙයි. මෙය සැබැවින් ම සංකීර්ණ තත්ත්වයකි.

සාමයේ හා සෞභාග්‍යයේ පිළිරුව විවෘත කරන විට ඒ මත පාදඩයෙක් නිදා සිටියි. නගරය සෞභාග්‍යයෙන් පිරී ඇත්නම් මෙවැනි පාදඩයින් හා දුප්පතුන් කොයින් ද? චැප්ලින් අපට කොතරම් තදින් සිනාසීමට ආරාධනා කරනවාද කිවහොත්, සාමයේ හා සෞභාග්‍යයේ සංකේතය මත ම දුප්පතාද මුණගස්වයි. සිය දිවි නසා ගන්නට උත්සාහ කරන ධනකුවේරයා ද මෙබඳු ම සෝපහාසයක් මවයි. ඔහු තම දිවි ගළවාදුන් පාදඩ මිතුරාට ආදරයෙන් සලකන්නේ බීමත්ව සිටින විට පමණි. පියවි සිහිය ලද වහා ම පාදඩයා ව නොහඳුනයි. තවත් විටෙක ධනකුවේරයාගේ නිවසේ පැවති සාදයකට සහභාගී වන චැප්ලින් පුඩිමක් කියා හිඳ සිටින්නෙකුගේ තට්ටය හැන්දෙන් සූරයි. මේවා කදිම හාස්‍යය බව අමුතුවෙන් කිව යුතු නැත. වර්තමානයේ සෝප් ඔපෙරාවලට(සබන් ටෙලිනාට්‍ය) සහ සිල්ලර චිත්‍රපටවලට හුරු වූ ප්‍රේක්ෂකයන් වැරදීමකින් හෝ චැප්ලින් ව නැරඹුවහොත් ඔවුන්ට අදහා ගත නොහැකි වනු ඇත.

චැප්ලින් අපට තවත් පැති ගණනාවක් කරා යාමට මග හෙළිකරයි. ඔහුගේ බොහොමයක් චිත්‍රපටවල මෙන් ම City Light හි ද සැබෑව ඇත්තේ අපගේ ඇස් ඉදිරියේ නොව, අප ඉදිරියේ වන තිරය පිටුපසය යන්න සනාථ කරයි. ධනවත් මිතුරාගේ නිවසට සොරු දෙදෙනෙක් ඇතුළු වී සිටිති. පාදඩයා හා මිතුරා එහි එන විට ආලින්දයේ ඇති තිරයක් පසුපස සොරු සැඟවෙති. චැප්ලින් තිරය කරා යාමට උත්සාහ කළ ද යම් යම් හේතු නිසා එය වැළකේ. මේ මොහොත මගහැරීම නිසා පාදඩයා පත්වන අකරතැබ්බය සුළුපටු නොවේ. අන්ධ තරුණිය පාදඩයා පොහොසතෙකු ලෙස වටහා ගැනීමද මෙවැන්නක් ම ය.

City Light හැඟුම්බර ය. එය අපේ සිහිනවලට ඉඩ දෙයි. සංවේදී හදවත් ඇත්තවුන්ගේ නෙතගට කඳුළක් නංවයි. වරක් City Light නැරඹූ මහා පුරුෂයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් දෑස් පිසදමන ආකාරය තමා දුටු බව චැප්ලින් සිය චරිතාපදානයේ ලියයි. අයින්ස්ටයින්ගේ නෙතගට කඳුළු ගෙනා අවසන් ජවනිකාව අතිශය භයානක බව දාර්ශනිකයෙකු වන ස්ලැවොජ් ජිජැක් පවසයි. සිරඅඩස්සියෙන් නිදහස් ව පදිකවේදිකාව දිගේ ඇවිදින පාදඩයාට අහම්බයෙන් තරුණිය දිස්වෙයි. ඔහු පලා යන්නට සැරසෙයි. තරුණිය ඔහු වෙත මලක් දිගු කරන අතර මුදලක්ද අත මිට මොළවන්නේ සත්‍යය කුමක්දැයි නොදැන ය. ස්පර්ශ මාත්‍රයෙන් ඇය පාදඩයාව හඳුනා ගනියි. ඔහු ඇගෙන් අසන්නේ දැන් සනීප වී දැයි කියා ය. ඇය මහත් සෙනෙහසින් පාදඩයාගේ අත වැලඳ ගනියි. චිත්‍රපටය නිම වේ. සංගීත නද තවදුරටත් පවතී. නොනවතින පසුබිම් සංගීතය සැබැවින් ම ඔවුන්ගේ හඳුනා ගැනීම තවමත් නිම නොවූ බව අවධාරණය කරයි.


Comments